About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Teriyaki Chicken Fried Rice - චිකන් ෆ්‍රයිඩ් රයිස්

ටිකක් වෙනස් විදිහට "චිකන් ෆ්‍රයිඩ් රයිස්" එකක් හදන විදිහ තමයි දැන් මේ ඔයාලට කියලා දෙන්න ය…
Teriyaki Chicken Fried Rice - චිකන් ෆ්‍රයිඩ් රයිස්
ටිකක් වෙනස් විදිහට "චිකන් ෆ්‍රයිඩ් රයිස්" එකක් හදන විදිහ තමයි දැන් මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ. මේකත් එක්ක කුකුල් මසුත් අපි හදන හින්දම මේ ෆ්‍රයිඩ් රයිස් එක හැදුවහම ආයෙ වෙන මොනවත් ඔයාලට වෙනම හදන්න ඕනෙ වෙන්නෙ නැහැ මේක කෑමට ගන්න..

අවශ්‍ය දේවල්:

  • උයාගත්ත බත් කෝප්ප 4
  • කටු රහිත් කුකුල් මස් ග්‍රෑම් 900 (හීනී තීරු වෙන්න කපාගන්න)
  • සීනී කෝප්ප 1/2
  • තෙල් මේස හැදි 1 (පොල් තෙල් වගේ ඕනම තෙල් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්)
  • පොඩියට කපාගත්ත කැරට් අල 2
  • පොඩියට කපාගත්ත ළුණු ගෙඩි 1
  • ඇට ඉවත් කරගෙන කපාගත්ත රතු පාට බෙල් පෙපර් 1
  • පොඩියට කපාගත්ත බ්‍රොකොලි ග්‍රෑම් 150 (අත්‍යවශ්‍යම නැහැ)
  • ලුණු පොඩ්ඩක්
  • ගම්මිරිස් කුඩු පොඩ්ඩක්
  • ග්‍රීන් පීස් කෝප්ප 1
  • පොඩියට කපාගත්ත සුදු ළුණු මේස හැදි 1
  • පොඩියට කපාගත්ත ඉගුරු මේස හැදි 1
  • තල තෙල් මේස හැදි 3
  • සෝයා සෝස් කෝප්ප 1/2
  • බිත්තර 6ක්
  • තවත් සෝයා සෝස් මේස හැදි 3
  • අන්තිමට බත් එක සරසගන්න තල ඇට පොඩ්ඩක් සහ කපාගත්ත ළුණු කොළ පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සීනියි සෝයා සෝස් කෝප්ප ½ එකට දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ මේ හදාගත්ත මිශ්‍රනය කුකුල් මස් වලට දාලා කලවම් කරගෙන මස් ටික පදම් වෙන්න විනාඩි 30ක් විතර තියාගන්න. සෝස් මිශ්‍රනයෙන් සේරම මේකට හලාගන්න එපා. පොඩ්ඩක් ඉතුරු කරගන්න. අපිට පස්සෙ ඒක ඕනෙ වෙනවා. මතක ඇතුවම මේ මස් මිශ්‍රණය දාලා තියන භාජනේ ලන්ච් ෂීට් එකකින් වහලා තියන්න පදම් වෙන්න තියන කොට.
  • මස් ටික පදම් වෙන අතරෙ අපිට තවත් වැඩ ටිකක් තියනවා කරගන්න. භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් කරගන්න. ඊට පස්සෙ ඒකට ළුණු කැරට් තක්කාලි බෙල් පෙපර් දාලා තෙම්පරාදු කරගන්න ඕනෙ අපි.
  • ඊළගට ඒකට ග්‍රීන් පීන් ටිකයි බ්‍රොකොලි ටිකයිත් එකතු කරලා මේ ටික තැම්බෙනකම් පොඩ්ඩක් ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ තෙම්පරාදු කරගත්ත එළවළු ටික අයින් කරලා භාජනේට තල තෙල් මේස හැදි 2ක් දාලා ඒකට ඉගුරු සුදු ළුණු දාලා පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න.
  • ඒ ටික තෙම්පරාදු වුනාම උයාගත්ත බත් ටික මේකට එකතු කරලා කලවම් කරගන්න ඕනෙ.
  • බිත්තරත් ඒත් එක්කම එකතු කරගෙන සේරම කලවම් කරගන්න.
  • ඊළගට මේකට එළවළුත් දාලා කලවම් කරගන්න.
  • ඒ වගේම සෝයා සෝස් මේස හැදි 3ත් මේත් එක්කම දාගෙන කලවම් කරගන්න.
ඔන්න බත් එක හරි! දැන් හදමු කුකුල් මස් ටික,
  • මුලින්ම භාජනයක් ලිපේ තියලා ඉතුරු තල තෙල් මේස හැදි 1ක දාලා රත් කරගන්න.
  • තෙල් රත් වෙනකොට මස් ටික ඒකට දාලා උයාගන්න. ඉතුරු සෝයා සෝස් මිශ්‍රණයත් මේකට දාලා කලවම් කරගන්න.
  • අන්තිමට මස් ටික ලිපෙන් බාගන්න කලින් තල ඇට ටිකත් මස් උඩින් ඉහ ගන්න ඕනෙ අපි.
  • ඔච්චරයි. ඔන්න මස් ටිකත් හරි.
දැන් අන්තිමට,
  • මේක සාමාන්‍ය බත් එකක් නෙමෙයිනෙ, ඒ හින්දා බත් එක පිළිගන්වනකොට ටිකක් සරසාගෙනම පිළිගන්වන්න. මස් ටිකත් බත් එක උඩින්ම දාගන්න. ඒ වගේම සරසාගන්න කියලා අපි ළුණු කොළ පොඩ්ඩක් ගත්තා මතක ඇති නේද ඔයාලට. අන්න ඒ ටිකත් උඩින් ඉහගන්න, එතකොට බත් එක තවත් ලස්සනයි!

ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තට පස්සෙ මේ වගේ අච්චුවක් පාවිච්චි කරලා ලස්සනට බත් එක පිළිගන්වන්න සූදානම් කරගන්න පුලුවන්.

ඊට පස්සෙ මේ වගේ මස් ටිකත් බත් එක උඩින්ම දාගෙන, ළුණු කොළ පොඩ්ඩකුත් උඩින් ඉහගෙන බත් එක සරසාගෙනම පිළිගන්වන්න. කෑමක රස, සුවඳ වගේම ලස්සනට තිබුනොත්නෙ කෑම එක දකින කට්ටියට ඒක කන්න ආස හිතෙන්නෙ නේද?
















මේ ලිපිය සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ tasty.co වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment