About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Konda kavum - කොන්ඩ කැවුම්

මේ ලිපිය ලියන්නේ අපේ සුපුරුදු මිතුරිය සෙව්මි! ඉවුම් පිහුම් ඇප් එකේ මුල් කාලේ ඉදන් ඉන්න අයටනම් එයාව …
Konda kavum - කොන්ඩ කැවුම්
මේ ලිපිය ලියන්නේ අපේ සුපුරුදු මිතුරිය සෙව්මි! ඉවුම් පිහුම් ඇප් එකේ මුල් කාලේ ඉදන් ඉන්න අයටනම් එයාව ගොඩක් හොදට මතක ඇති. එයා ඔයාලට දැන් මේ කියලා දෙන්න හදන්නේ කොන්ඩ කැවුම් හදාගන්නේ කොහොමද කියලා. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • හාල් පිටි 200g
  • පාන් පිටි 100g
  • සීනි 50-75g ක් පමණ (පුලුවන්නම් බ්ලෙන්ඩර් එකට දාලා පව්ඩර් වගේ කුඩුකරගන්න.)
  • කිතුල් පැණි අඬු කෝප්ප 1 ½ ක්
  • ලුණු කුඩු ස්වල්පයක්
  • කබලේ බැද ගත් සූදුරු හෝ මාදුරු ඇට තේ හැදි ¼ ක් (කැමති නම් පමණක්)
  • මද උණුසුම් ජලය ටිකක් (අවශ්‍ය වුනොත් පමණක් භාවිතා කරන්න.)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම හාල් පිටි ටික හා පාන් පිටි ටික මිශ්‍ර කර ගෙන දෙතුන් පාරක් පෙනේරයකින් හලා ගෙන භාජනයකට දමා ගන්න.
  • පසුව පැණි ටික රත් කර ගන්න. (නටනකන් උණු කරන්න යන්න එපා. පැණි අතින් ඇල්ලිය හැකි ප්‍රමාණය රස්නේ තිබුනහම ඇති.)
  • ඉන් පසුව පිටි ටිකට සූදුරු හෝ මාදුරු ඇට ටික හා සීනි දමා ගෙන හොඳින් කලවම් කර ගන්න.
  • දැන් භානජනයේ තියෙන පිටි මිශ්‍රණයේ මැද හරියෙන් වලක් හාරනවා වගේ මැදින් පිටි වටේට අයින් කර ගන්න.
  • පසුව පිටි අයින් කර ගත් තැනට පැණි වක් කර ගෙන හිමීට වටේ තියෙන පිටි ටික ටික කලවම් කරමින් කැටි නොසෑදෙන සේ පැණි සමඟ පිටි මිශ්‍රණය හොඳින් අතින් අනා ගන්න. (සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙලා තියෙන්න ඕනේ අනාගෙන ඉවර වෙනකොට.)
  • ගොඩක් උකුවටත් නැති දියාරුත් නැති පදමට කැවුම් මිශ්‍රණය සාදා ගන්න. (මිශ්‍රණය උකු වැඩි නම් පමණක් ටික ටික මද උණුසුම් වතුර එකතු කර ගෙන අවශ්‍ය පදමට පිටි මිශ්‍රණය අනා ගන්න.)
  • ඊළඟට පිටි මිශ්‍රණය පැය 2-3ක් පමණ පිපීමට පසෙකින් තබා ගන්න .(කලින්ට වඩා ටිකක් ඝනකමට තියේවි පිටි ටික පිපුනට පස්සේ.)
  • දැන් පිටි මිශ්‍රණය අර ගෙන යන්තමින් හැන්දකින් කලවම් කර ගන්න.
  • පසුව අඬු කෝප්පයක් වැනි කුඩා භාජනයකට පිටි මිශ්‍රණයෙන් ටිකක් පුරව ගන්න. (අන්ඬක් තිබෙන, අපහසුවකින් තොරව අල්ල ගන්න පුළුවන්, ඒ වගේම ලේසියෙන් එකම තැනකින් වක් කර ගන්න පුළුවන් තුඩක් වගේ නෙරීමක් තියෙන කුඩා භාජනයක් නම් වඩාත් හොඳයි.)
  • පස්සේ කුඩා තෙල් තාච්චියක්, තෙල් හැන්දක් සහ ලී කූරක් ගන්න. (තාච්චියේ පතුල සමතලා නැතුව වල වගේ රවුමට පහතට හොදට නෙරලා තියෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ලී කූර ගොඩාක්ම මහත නැති ගොඩාක්ම හීනිත් නැති විදියට හදා ගන්න.)
  • තාච්චියෙන් බාගයක් පමණ පිරෙන්න (අඩියේ ඉදන් 2cm - 3cm විතර උසට) තෙල් දමා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිප තියන්න.
  • තෙල් හොඳින් රත් වුණාට පසුව ගින්දර ටිකක් අඩු කරන්න.
  • දැන් අත හොල්ලනේ නැතුව කැවුම් පිටි මිශ්‍රණයෙන් ටිකක් තෙල් තාච්චියේ මැද හරියට දා ගෙන තත්පර 2 - 3ක් පමණ යන්තමින් බැදෙන්න දීලා කැවුමේ අඩිය නැත්තම් පතුල හදා ගන්න. (තාච්චියේ අඩියේ ගෑවිලා, තාචිචියේ අඩියේ හැඩයට තමයි කැවුමේ අඩිය හැදෙන්නෙ.)
  • පස්සේ කැවුමේ පතුල නැත්තම් අඩිය පිරෙන විදියට ආයෙත් පිටි මිශ්‍රණයෙන් අවශ්‍ය ගානට ටිකක් හිමීට වක් කර ගෙන කැවුමේ බඩ නැත්තම් කැවුමේ මැද හදා ගන්න. (ඔන්න දැන් කැවුම ටිකක් පිම්බිලා පිරුන ගතියක් එනවා.)
  • දැන් තත්පර 2 - 3ක් කැවුම කැරකෙන විදියට තෙල් හැන්දෙන් තෙල් ගහන ගමන් කැවුම යන්තමින් බැදෙන්න දෙන්න. (දැන් යන්තම් මැදින් ඉස්සිලා එන්න හදන ගතියක් පේනවා.)
  • ඔන්න දැන් තව පොඩ්ඩක් කැවුමේ මැද හරියට පිටි මිශ්‍රණයෙන් වක් කර ගෙන කොන්ඩේ මුල හදා ගන්න. (කැවුමේ මැද කලින්ට වඩා ඉස්සිලා පෙන්න ගන්නවා මේ වෙනකොට.)
  • දැන් ආයෙත් තත්පර 5 - 7ක් කැවුම ටිකක් කැරකෙන විදියට හැන්දෙන් තෙල් ගහන ගමන් කැවුමේ වටේ ටික බැදෙන්න දෙන්න. (ඔන්න දැන් කොන්ඩේ එන්න පටන් අරන් කියලා තේරේවි.)
  • පස්සේ ලී කූර අරන් කැවුමේ මැදට ඇනලා කූර වටේට රවුම් කරකවන ගමන් තෙල් හැන්දෙන් කැවුම නෑවෙන විදියට තෙල් ගහ ගන්න. (මෙහෙම කරන කොට මැද තියෙන අමු පිටි ටික ටික එළියට ඇවිත් කූර වටේට නිකන් ගැටයක් වගේ ඉස්සිලා එනවා, පස්සෙ ටික ටික කැවුමේ කොන්ඩේ උඩට එනවා හොදටම පේන්න ගන්නවා.)
  • පස්සෙ තමන්ට ඕන කරන ගානට කැවුමේ කොන්ඩේ අරන් රන්වන් දුඹුරු පැහැය වෙනකන් කැවුම බැද ගන්න. (හැබැයි තවත් කැවුමේ මැද හරියේ අමු පිටි තියෙනවා කියලා හිතෙනවා නම් කූරෙන් ඇනලා හැන්දෙන් කැවුම වටේට ටිකක් තද කරන්න, එතකොට අමු පිටි තියෙනවා නම් එළියට ඒවි.)
  • මේ විදිහට අනිත් කැවුම් ටිකත් බැද ගෙන තෙල් බේරෙන්න තියලා සුළං නොවදින සේ අහුර ගන්න.

වැදගත්:
  • මෙම ප්‍රමාණ වලින් අරන් මිශ්‍රණය හදා ගත්තොත් තම තමන් හදන කැවුමේ විශාලත්වය අනුව කැවුම් 10 - 15ක් පමණ හදා ගන්න පුළුවන්.
  • තෙල් තාච්චිය විදියට සාමාන්‍යයෙන් ආප්ප තාච්චියක් වගේ හැඩය තියෙන ඒ ප්‍රමාණයේ තාච්චියක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
  • පරණ පොල් කටු හැන්දක ලී මිටක් කූර විදියට හදා ගෙන පාවිච්චි කරන්න. ඉරටුවකට වඩා ඝනකම තියෙන්න ඕනේ පහළ, හැබැයි ඉතින් පැන්සලක් තරමට මහතට ගන්න එපා. අගින් යන්තම් උලට වගේ තියෙන්න හදා ගන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ මිශ්‍රණය අනාගන්න ගමන්.

 මිශ්‍රණය මේ වගේ පදමට එන්න හදාගන්න ඕනෙ. ඊට පස්සෙ පැය 2-3ක් විතර පිපෙන්න තියන්න.

 පිපුණු මිශ්‍රණය මේ වගේ කෝප්පයකට දා ගන්න.

මුලින්ම මේ වගේ තාච්චියට මිශ්‍රණයෙන් ටිකක් දා ගෙන කැවුමේ අඩිය හැදෙන්න අරින්න.

ඊට පස්සෙ මැද කොටස.

දැන් යන්නෙ කොන්ඩය හදාගන්න.

පස්සේ ලී කූර අරන් කැවුමේ මැදට ඇනලා කූර වටේට රවුම් කරකවන ගමන් තෙල් හැන්දෙන් කැවුම නෑවෙන විදියට තෙල් ගහ ගන්න.

මෙහෙම කරන කොට මැද තියෙන අමු පිටි ටික ටික එළියට ඇවිත් කූර වටේට නිකන් ගැටයක් වගේ ඉස්සිලා එනවා, පස්සෙ ටික ටික කැවුමේ කොන්ඩේ උඩට එනවා හොදටම පේන්න ගන්නවා.

ඔන්න දැන් කැවුම හදලා ඉවරයි.

මේ විදිහට අනිත් කැවුම් ටිකත් බැද ගෙන තෙල් බේරෙන්න තියාගන්න.

ඊට පස්සෙ ඉතින් කෑමට ගන්න පුලුවන්. ඉතුරු ටික සුළං නොවදින විදිහට අහුරා ගන්න.














ලිපිය ලිව්වේ සෙව්මි උපේක්ෂා මිතුරිය. එයා කරුණු ගත්තා කිව්වා මේ යූ-ටියුබ් වීඩියෝ (https://www.youtube.com/watch?v=IIGdQ7pNUG0) එකෙනුත්. ඔයාලත් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. කැවිලි අතරින් හදන්න අමාරුම කෑමක් තමයි කොන්ඩ කැවුම් කියන්නෙ. අමාරුම කොටස තමයි කොන්ඩෙ ගන්න එක. ඒක හින්දා මේ ලිපිය කියවලා ඉවර වෙලා අනිවාර්යෙන්ම වීඩියෝ එකත් බලන්න. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා ලිපිය ලියපු අපේ සෙව්මි මිතුරියටත් ගොඩක් ගොඩක් ස්තූතියි නේද? ස්තූතියි සෙව්මි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment