


විදේශ රටවල් වල නම් මෙවා හදන එක ටිකක් ලොකුවටම කරනවා.
අවශ්‍ය දේවල්:
ලොකුමාඩෙස් මිශ්‍රණය හදාගන්න ඕනෙ දේවල්:
- මද උණුසුම් ජලය (ටිකක් රස්නේ වතුර) මී.ලී. 100
- මද උණුසුම් කිරි මී.ලී. 150 (කිරි වෙනුවට ජලය පමණක් භාවිතා කරන්නත් පුලුවන්.)
- ඊස්ට් ග්‍රෑම් 5
- සීනි මේස හැඳි 01
- පාන් පිටි ග්‍රෑම් 225
- වැනිලා තේ හැඳි 01
- කුරුඳු කුඩු තේ හැඳි 01
- තරමක් කුඩු කරගත් වෝල්නට් ග්‍රෑම් 50 (මේ වෙනුවට කබලේ බැදගත්ත කජු හෝ රට කජු වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුලුවන්.)
- රස අනුව ලුණු
- ගැඹුරු තෙලේ බැඳ ගැනීමට තෙල් ලී. 1 හෝ 2
පැණි මිශ්‍රණය සදහා අවශ්‍ය දේවල්:
- මී පැණි කෝප්ප 01 (කිතුල් පැණි පාවිච්චි කරන්නත් පුලුවන්. රසය නම් චුට්ටක් වෙනස් වෙයි. ඒත් රසයි.)
- වැනිලා තේ හැඳි 01
- සීනි කෝප්ප ½
- ජලය කෝප්ප ½
- අඟල් 2 පමණ ලෙමන් පොතු කැබැලක්
- අඟල් 2 පමණ කහ දොඩම් පොතු කැබැලක්
- ලොකු කුරුඳු පොතු කැබැලක්
- කුරුඳු කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය:
- මද උණුසුම් ජලය, ඊස්ට් සහ සීනි එකට දමා මිශ්‍ර කොට ඊස්ට් පෙන නගින තෙක් තබන්න. (ඊස්ට් ක්‍රියාකාරී විය යුතුයි)
- හලා ගත් පාන් පිටි, වැනිලා, මද උණුසුම් කිරි, කුරුඳු කුඩු, ලුණු, ඊස්ට් මිශ්‍රණය සමග හොඳින් මිශ්‍ර කරන්න. පිටි කැට නොසිටින ලෙස ඉතා මෘදු වන තෙක් මිශ්‍ර කරන්න. මෙය තරමක් ඇලෙන සුලු තරමක දියාරු මිශ්‍රණයක්.
- එම මිශ්‍රණය තරමක උණුසුම් ස්ථානයක තබන්න පැයක් නැත්නම් පැය එක හාමාරක් පමණ. (ඊස්ට් හොඳින් ක්‍රියා කර මිශ්‍රණය දෙගුණ වන තෙක්)
- එම අතර වාරයේ පැණි මිශ්‍රණය සකස් කර ගන්න. මී පැණි (කිතුල් පැණි), ජලය, ලේමන් පොතු, දොඩම් පොතු, කුරුඳු පොතු, භාජනයක ළිප මත තබා වැඩි ගින්දරේ සීනි දියවන තෙක් හැඳි ගන්න. සීනි දියවූ පසු ගින්දර අඩුකොට විනාඩි 10 පමණ යන්තම් ඝණකම් වන විට ළිප නිවා පෙරා පසෙකින් තබා ගන්න.
- කට පළල් ගැඹුර ඇති තාච්චියක් හෝ ගැඹුරු තෙලේ බැඳ ගත් හැකි භාජනයක් ළිප මත තබා යහමින් තෙල් දමා රත් කර ගන්න. (වොක් පැන් එකක් තියේනම් ගොඩක් හොදයි.)
- දෙගුණයක් වූ ලොකුමාඩෙස් මිශ්‍රණයෙන් බෝල හදාගෙන තෙලට දාලා බැදගන්න එක තමයි ඊට පස්සෙ කරන්න තියෙන්නෙ. බෝල හදාගන්න විදිහ කියලා දෙන්න ටිකක් අමාරු හින්දා ෆොටෝ ටිකක් දැම්මා. බලන්නකෝ ඒ ටික.
- රත්වූ තෙලට ලොකුමාඩෙස් දමා රන් වන් පැහැය වනතුරු බැඳ ගන්න ඕනෙ. (තාච්චියට ගොඩක් දා ගනෙන් නතිව ක්‍රමානුකූලව ඉඩ තියෙන විදිහට ලොකුමාඩෙස් ටික දාලා බැඳ ගන්න)
- අන්තිමට එසේ බැඳ ගත් ලොකුමාඩෙස් වලට උණු උණු වේම පැණි වක් කරලා වෝල්නට් හා ඉතිරි කුරුඳු කුඩු ඉස උණුසුම්ව පිළිගන්වන්න තමයි තියෙන්නෙ. කාලා බලන්නකෝ කොච්චර රසද කියලා..
පොටෝ ටිකත් බලන්නකෝ..

මේ මද උණුසුම් ජලය, ඊස්ට් සහ සීනි එකට දමා මිශ්‍ර කොට ඊස්ට් පෙන නගින තෙක් තියලා..

දැන් ඒ ඊස්ට් මිශ්‍රණය සමග හලා ගත් පාන් පිටි, වැනිලා, මද උණුසුම් කිරි, කුරුඳු කුඩු, ලුණු මිශ්‍ර කරගන්න යන්නෙ. පිටි කැට නොසිටින ලෙස ඉතා මෘදු වන තෙක් මිශ්‍ර කරගන්න ඕනෙ.

මේ තියෙන්නෙ හදාගත්ත මිශ්‍රණය.

දැන් ඒක වහලා තියන්න මේ වගේ.

මේ මිශ්‍රණය පිපුණාට පස්සෙ. ඊට පස්සෙ මේකෙන් බෝල හදාගෙන තෙලට දාලා බැදගන්න ඕනෙ.

මේ විදිහට අතින් බෝල හදාගන්නත් පුලුවන්.

නැත්නම් මේ වගේ හැදි පාවිච්චි කරලාත් බෝල හදාගන්න පුලුවන්.

එහෙම තෙලට දා ගත්ත බෝල රන් වන් පාට වෙනකන් බැද ගන්න ඕනෙ. බැදගත්තට පස්සෙ තෙල් බේරෙන්න තියාගන්න.

මේ ඊට පස්සෙ ඒ බෝල වලට පැණි වක් කරන ගමන්.

අන්තිමට කරන්න තියෙන්නෙ ලොකුමාඩෙස් උඩින් වෝල්නට් හා ඉතිරි කුරුඳු කුඩු ටික ඉසගන්න එක. ඊට පස්සෙ ඉතින් කන්න තමයි තියෙන්නෙ.
මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ panthakamaisonette.com වෙබ් අඩවියෙන්.