

- බිත්තර 10ක්
- හකුරු බෑයවල් 2ක්
- සීනි 300g
- එනසාල් ඇට 4-5ක්
- නැවුම් කිරි 450ml
- වැනිලා පොඩ්ඩක්
- කජු මද සහ වියළි මිදි (අන්තිමට වටලප්පම් උඩින් ඉහගැනීමට.)
සාදාගන්නා ආකාරය:
- බිත්තර ටික කඩා භාජනයකට දාමාගෙන කහ මද සහ සුදු මද හොදින් කලවම් වීමට හැන්දකින් හැදි ගාගන්න.
- පිහි මිටෙන් හෝ කුමන හෝ ක්‍රමයක් බාවිතයෙන් හකුරු බෑ දෙක කුඩා කැබලි වලට කුඩු කරගන්න.
- කුඩු කරගත් හකුරු ටිකත් බිත්තර මිශ්‍රණයට දාලා හොදට කලවම් කරගන්න.
- එයටම කිරි, සීනි සහ ලුණු ස්වල්පයකුත් දාගන්න. තලාගත් එනසාල් ඇට සහ වැනිලා ටිකත් දාගන්න. හොදින් කලවම් කරන්න. පැණි රසට තියෙනවාද කියලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම සීනි, කිරි එහෙම මදි වගේ නම් දාගන්න.
- ඊට පස්සෙ හදාගත්ත මේ වටලප්පම් මිශ්‍රණය පෙරලා වෙන භාජනයකට දාගන්න.
- අපි වටලප්පම් හදාගන්න යන්නෙ කෝප්ප වලට. දැන් කරන්න තියෙන්නෙ වටලප්පම් ටික තම්බාගන්න කොප්ප ටිකක් ඇරගෙන ඒ කෝප්ප වලට පෙරාගත්ත අපේ මේ වටලප්පම් මිශ්‍රණය දාගන්න එක.
- දැන් ලොකු ඇතිලියක් (හෝ ලොකු රාස්පානක්) ඇරගෙන (ඒ ඇතිලියෙ අපේ කොප්ප ටික තියාගෙන අපි වටලප්පම් තම්බා ගන්නයි යන්නෙ) ලිප මත තබා ගන්න. තාම ලිප පත්තු කරන්න නම් එපා.
- ඊට පස්සෙ ඒ ඇතිලිය ඇතුලෙන් ගඩොල් කැට කිහිපයක් තියාගෙන ඒවා වැහෙන මට්ටමට වතුර දාගන්න. ඊට පස්සෙ ඒ ගඩොල් කැට උඩ වටලප්පම් මිශ්‍රණය දාගත්ත කෝප්ප ටික තියලා කප් ටික පිඟානකින් වහන්න.
- ඊට පස්සෙ ඇතිලියත් වහලා බරට මොකක්හරි දෙයක් උඩින් තියන්න.
- ඊට පස්සෙ ලිප පත්තු කරලා වටලප්පම් ටික පැය භාගයක් විතර තැම්බෙන්න තියලා වටලප්පම් වලට පිහියකින් වගේ ඇනලා බලන්න තැම්බිලාද කියලා. තැම්බිලා මදි නම් තව ටික වෙලාවක් වහලා තියන්න තැම්බෙන්න.
- තැම්බුනාට පස්සෙ කජු, වියළි මිදි වටලප්පම් උඩින් ඉහගන්න.
පොටෝ ටිකත් බලන්නකෝ..

මේ බිත්තර ටික කඩලා දාගෙන.

හකුරු බෑ දෙක මේ වගේ කුඩු කර ගන්න.

මේ කුඩු කරගත්ත හකුරු ටික බිත්තර මිශ්‍රණයට දාගෙන, ඒකට කිරි, සීනි, ලුණු, එනසාල් ඇට සහ වැනිලා ටිකත් දාගෙන හොදට කලවම් කරගෙන.

ඊට පස්සෙ පෙරා ගන්න ඕනෙ.

මේ ගඩොල් ටික ඇතිලියට දාගෙන වතුර දාත්තට පස්සෙ.

ඒ ගඩොල් උඩ අපේ වටලප්පම් කප් ටික තියලා ඒ ටිකත් වහගන්න ඕනෙ. ඊට පස්සෙ මුලු ඇතිලියම හොදට වහගෙන උඩින් බරකුත් තියාගන්න.

පැය භාගයක් විතර තැම්බෙන්න තියලා වටලප්පම් වලට පිහියකින් වගේ ඇනලා බලන්න තැම්බිලාද කියලා. මේක තාම තැම්බිලා මදි. හොදට තැම්බුනහම මේ වගේ වටලප්පම් පිහියේ ගෑවෙන්නෙ නෑ.

තැම්බුනාට පස්සෙ කජු, වියළි මිදි වටලප්පම් උඩින් ඉහගන්න. එච්චරයි!

දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
ලිපිය ලිව්වේ ෆාතිමා රිස්නා මිතුරිය. ෆාතිමා මිතුරියත් ඔයාලා වගේම අපේ ඉවුම් පිහුම් ඇප් එක හැමදාම බලන මිතුරියක්. ඉතින් අපිට මේ විදිහට "වටලප්පම්" හදාගන්න විදිහ කියලා දුන්න අපේ ෆාතිමා මිතුරියට ගොඩක් ගොඩක් ස්තූතියි නේද? බොහොම ස්තූතියි ෆාතිමා මිතුරියට! ෆාතිමා මිතුරියව ඇයගේ තවත් ලිපියකින් ඉක්මනටම හමු වෙමුකෝ එහෙනම්..