About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Spanish Cream - ස්පැනිෂ් ක්‍රීම්

දැන් මේ අපි හදන්න යන්නෙ රසම රස අතුරුපසක්! "ස්පැනිෂ්" කියලා තිබුණට මොකෝ මේක හදන්න ගන්න දේව…
Spanish Cream - ස්පැනිෂ් ක්‍රීම්
දැන් මේ අපි හදන්න යන්නෙ රසම රස අතුරුපසක්! "ස්පැනිෂ්" කියලා තිබුණට මොකෝ මේක හදන්න ගන්න දේවල් ටික ලේසියෙන්ම ඔයාලට හොයාගන්න පුලුවන් හින්දා මේක හදන්න නම් පොඩ්ඩක් වත් අමාරු වෙන්නෙ නැහැ ඔයාලට. උකු කල කිරි පාවිච්චි කරලා කිරි රසට මේක හදන හින්දම ඔන්න පොඩ්ඩො එහෙම නම් ගොඩක් ගොඩක් කැමති වෙයි මේවා කන්න..

අවශ්‍ය දේවල්:
  • ලොකු උකු කල කිරි ටින් 1 (අපි මේකට ගත්තෙ මිල්ක් මේඩ්)
  • බිත්තර 4
  • ජෙලටින් මේස හැදි 2 (හැන්ද පුරවලා ගන්න)
  • උණු වතුර අඩු කෝප්ප කාලක්
  • වැනිලා තේ හැදි 2
  • සීනී මේස හැදි 4
  • කෑම වලට දාන රෝස පාට කලරින් පොඩ්ඩක් (අත්‍යවශ්‍ය නැහැ)
  • සරසගන්න කජු වියළි මිදි, චෙරි (මේ සේරම ඕනෙ නැහැ, කැමති එක ජාතියක් ගත්තත් කමක් නැහැ)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයක් අරගෙන ඒකට මිල්ක් මේඩ් දාන්න.
  • ඊළගට ඒ මිල්ක් මේඩ් ටින් එකෙන්ම වතුර ටින් එකකුත් දාන්න.
  • දැන් සීනිත් දාලා මේ ටික පොඩ්ඩක් දිය වෙනකම් කලවම් කරගන්න.
  • ඊට පස්සෙ ලිපේ තියලා කිරි ටික උතුරවා ගන්න.
  • කිරි ටික උතුරනකොට උණු වතුර අඩු කෝප්ප කාලක ජෙලටින් දියකරගෙන ඒ ටික කිරි වලට එකතු කරලා හොදට කලවම් කරගන්න.
  • ඊට පස්සෙ කිරි ටික ලිපෙන් බාලා හුමාලය යනකම් පැත්තකින් තියන්න.
  • මේ ටික මෙහෙම නිමෙනකම් බිත්තර වල සුදු මද කහ මද වෙන්කරගමු. ඒකට කරන්න තියෙන්නෙ බිත්තර කට්ට උඩින් පොඩ්ඩක් කඩලා එතනින් හෙමීට සුදු මදය වෙන භාජනයකට දාගන්න එක. එතකොට කට්ට ඇතුළෙ ඉතුරු වෙන්න කහ මදය විතරයි.
  • දැන් බිත්තර කහමදයි සුදු මදයි වෙනම බීට්කරගන්න ඕනෙ. සුදු මද ටිකනම් හිම වගේ වෙනකම් බීට් කරන්න.
  • රත් කරපු කිරි වල හුමාලය ගියාට පස්සෙ බීට් කරපු බිත්තර කහ මද ටික අරගෙන ටික ටික කිරි වලට දාන්න. දාන ගමන් දිගටම හොදට හැදි ගාන්නත් අමතක කරන්න එපා!. මොකද හැදිගාන්න අමතක වුනොත් කිරි කැට ගැහෙන්න බලනවා ඒකයි.
  • ඊට පස්සෙ මේ කිරි මිශ්‍රණය සම්පූර්ණෙන් නිමෙන්න තියන්න.
  • නිමුණට පස්සෙ බීට් කරපු බිත්තර සුදු මද ටික මේ කිරි වලට දාලා කලවම් කරගන්න.
  • ඊළගට වැනිලයි කලරිනුයි දාලා කලවම් කරගන්න. කලරින් දානකොට ලස්සන වෙන්න කියලා ගොඩක් නම් දාන්න යන්න එපා! කල්පනාවෙන් දාන්න. කලරින් වැඩි වුනොත් කාලා හමාරයි :) හි හී :) ඒ නිසා පරිස්සමට බින්දු 2ක් විතර දාගත්තහම ඇති හොදේ..
  • දැන් මේක ෆිජ් එකේ තියලා සීත කරගන්න.
  • මේක හොදට මිදිලා ආවට පස්සෙ මතුපිටට කජු, මිදි වගේ කැමති දෙයක් දාලා සරසගන්න. එච්චරයි! වැඩේ ඉවරයි!

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ බීට් කරගත්ත බිත්තර කහ මද.

මේ බීට් කරගත්ත බිත්තර සුදු මද.

මේ වගේ ලාවට තමා කලරින් දාගන්න ඕනෙ අපි (මේ ෆොටෝ එකනම් "ස්පැනිෂ් ක්‍රීම්" හදනකොට ගත්ත එකක් නෙමේ. ඔයාලට කලරින් දානකොට දාන්න ඕනෙ ප්‍රමාණය ගැන අදහසක් ගන්න තමයි මේක දැම්මෙ.)

ෆ්‍රිජ් එකේ දාලා ගත්තට පස්සෙ "ස්පැනිෂ් ක්‍රීම්" ටික මෙහෙමයි තියෙන්නෙ.

ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ කන වැඩේ තමයි :) කෑමට ගන්න නම් "ස්පැනිෂ් ක්‍රීම්" ටික හොදට මිදිලා තියෙන්න ඕනෙ. කෑමට ගන්නකොට කජු, මිදි වගේ කැමති දෙයක් එක්ක කෑමට ගන්න පුලුවන් ඔයාලට. ජෑම් වුනත් හොදයි!












ලිපිය ලිව්වේ සයුරි මිතුරිය විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment