About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Refrigerator Cookies - රසම රස බිස්කට් වර්ගයක්

දැන් මේ කියලා දෙන්න යන්නෙ රසම රස බිස්කට් වර්ගයක් වන "Refrigerator Cookies" ලේසියෙන්ම ගෙදර…
Refrigerator Cookies - රසම රස බිස්කට් වර්ගයක්
දැන් මේ කියලා දෙන්න යන්නෙ රසම රස බිස්කට් වර්ගයක් වන "Refrigerator Cookies" ලේසියෙන්ම ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.. මේ බිස්කට් වර්ගය පිටරටවල් වල නම් සෑහෙන්න ජනප්‍රියයි. මේක චුට්ටක් වෙනස් විදිහට හදන බිස්කට් එකක්. නමින් කියවෙනවා වගේම ෆ්‍රිජ් එකේ දාලා කරන වැඩ කොටසකුත් තියෙනවා මේක හදනකොට. අවුරුදු නිවාඩු කාලෙත් ලඟ ලඟම එන නිසා පොඩ්ඩොත් එකතු කරගෙන තේ බොන වෙලාවට කෑමට ගන්න වගේ ඔයාලට මේක හදලා බලන්න පුළුවන්.. හරි! බලන්නකෝ එහෙනම් මේ බිස්කට් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • පාන් පිටි කෝප්ප් 3
  • බේකින් සෝඩා තේ හැදි 1/2
  • බටර් කෝප්ප 1
  • සුදු සීනී කෝප්ප 1
  • බිත්තර 2
  • වැනිලා තේ හැදි 1 1/2
  • ලුණු තේ හැදි 1
  • සරසගන්න වෙනම සීනී කෝප්ප 1/3

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයක් අරගෙන ඒකට බටර්, සීනී, බිත්තර, වැනිලා දාලා බීටර් එකකින් හොදට බීට් කරගන්න.
  • ඊළගට වෙනම භාජනයක් අරගෙන ඒකට පිටියි බේකින් සෝඩයි ලුණුයි දාලා කලවම් කරගන්න.
  • දැන් බීට් කරගත්ත බටර් මිශ්‍රනයට පාන් පිටි ටික දාලා හොදට අතින් කලවම් කරගන්න ඕනෙ. මේක හොදට පිටි බෝලයක් වගේ වෙනකම්ම මේ විදියට අතින් කලවම් කරගන්න.
  • දැන් මේ හදාගත්ත පිටි බෝලය කොටස් 3කට බෙදා ගන්න.
  • ඊටපස්සෙ මේ කොටස් 3 වෙන වෙනම සිලින්ඩර් වගේ වෙන්න රෝල් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ නිකන් බටයක් වගේ. හැබැයි ඇතුල හිස් නැහැ. මේ සිලින්ඩර් වල විෂ්කම්භය අගල් 1 1/2 විතර වගේම දිග අගල් 7ක් වගේ ප්‍රමාණයකට එන විදියට තමා හදාගන්න ඕනෙ.
  • අපි කලින් වෙනම සීනී ටිකක් තියාගත්තා නේද සරසාගන්න කියලා? දැන් ඒ සීනී ටික අරගෙන මේ හදාගත්ත පිටි රෝල් ටිකේ තවරගන්න. සීනි ටික හොදට මේ පිටි රොල් ටික වටේට තැවරෙන්න ඕනෙ හොදේ..
  • සීනී තවරගත්තට පස්සෙ ලන්ච් ෂීට් කොළ වලින් වෙන වෙනම ඔතාගෙන මේ පිටි රෝල් ටික රැයක් එළවෙනකම් ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනෙ.
  • පහුවදා අපි මේ හදාගත්ත පිටි රෝල් ටික ෆ්‍රිජ් එකෙන් ඇරගෙන බේක් කරගන්න ඕනෙ. අපි තව වැඩ ටිකක් කරලා අන්තිමට තමයි හදාගන්න බිස්කට් ටික අවන් එකට දාගන්නෙ. ඒ වුනාට අපි දැන් අවන් එක 205°C උෂ්ණත්වයට රත් වෙන්න දාලා තියලා තමයි ඉතුරු වැඩ ටික කරන්න පටන් ගන්න ඕනෙ. එකම උෂ්ණත්වයකින් රත් වෙවී තියෙන අවන් එකට තමයි අපි හදාගන්න බිස්කට් ටික අන්තිමට දාගන්නෙ.
  • දැන් අපි ෆ්‍රිජ් එකෙන් ගත්ත මේ පිටි රෝල් වලින් අගල් 1/4 විතර ඝනකමක් තියෙන විදිහට පෙති කපා ගන්න ඕනෙ. පිටි රෝල සිලින්ඩරයක් වගේ හින්දා මේ කපාගන්න පෙති රවුම්. මේවා තමයි අපේ බිස්කට්.
  • දැන් අවන් එකේ දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඒකෙ ඇතුල් පැත්තෙ අඩියේ බටර් ටිකක් ගාගන්න.
  • ඊළගට අපි කලින් කපා ගත්ත බිස්කට් ටික මේ ට්‍රේ එකේ තියාගෙන විනාඩි 8-10ක් විතර අපි මේ ටික බේක් කරගන්න ඕනෙ.
  • බේක් වෙලා ඉවර වුනාට පස්සෙ ටිකක් නිවෙන්න තියලා ඔයාලට කෑමට ගන්න පුලුවන් මේ බිස්කට්.

වැදගත්:
  • මේක හදනකොට බිස්කට් මිශ්‍රණයේ සීනී තවරගන්නවනේ අපි. හැබැයි ඕනෙනම් ඒ වෙනුවට කුඩු කරගත්ත කජු වගේ දෙයක් වුනත් මේකට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට.

පොටෝ ටිකත් බලන්නකෝ..
පිටි රෝල් ටික මේ වගේ ඔතාගෙන ෆ්‍රිජ් එකට දාගන්න.

ෆ්‍රිජ් එකේ තියලා ගත්තට පස්සෙ මේ විදිහට කපාගන්න. අගල් 1/4 විතර ඝනකමක් තියෙන විදිහට පෙති කපා ගන්න ඕනෙ. මේ පෙති තමයි බිස්කට්.

ඊට පස්සෙ ඒ කපාගත්ත පෙති ටික ට්‍රේ එකක තියලා කලින් රත් වෙන්න දාපු අවන් එකට දාලා බේක් කරගන්න ඕනෙ. උඩ රෙසිපි එකේ කියලා තියෙනවා වගේ ට්‍රේ එකේ ඇතුල් පැත්තෙ අඩියේ බටර් ටිකක් ගාගෙන කපාගත්ත පෙති ටික ට්‍රේ උඩ තියාගන්නත් පුලුවන් නිකන්ම. එහෙම නැත්නම් ෆොටෝ එකේ තියෙනවා වගේ තෙල් කඩදාසියක් උඩ තියාගන්නත් පුලුවන්.

මේ තියෙන්නෙ එහෙම බේක් කරගත්ත බිස්කට් ටික. හුලන් වදින්නෙ නැති වෙන්න අහුරා ගන්න පුලුවන් නම් ටික දවසක් නරක් නොවී බිස්කට් ටික තියාගන්න පුලුවන් ඔයාලට.













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment