About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cheesy Crackers - චීස් ක්‍රැකර්ස්

හදමුද රසම රස චීස් ක්‍රැකර්ස්? ඒ කිව්වෙ කර කර ගාලා හපන්න පුලුවන් රසම රස චීස් රස බිස්කට් ටිකක් හදමුද?…
Cheesy Crackers - චීස් ක්‍රැකර්ස්
හදමුද රසම රස චීස් ක්‍රැකර්ස්? ඒ කිව්වෙ කර කර ගාලා හපන්න පුලුවන් රසම රස චීස් රස බිස්කට් ටිකක් හදමුද? මේවා කන්න අකමැති අය ඉන්නවායැ නෙහ්! හී හී.. :) හැබැයි අපිට මේක හදන්න නම් චෙඩා චීසුයි, පාර්මසාන් චීසුයි ඕනෙ වෙනවා. ඒ දෙකම ඔයාලට සුපර් මාකට් වලින් ලේසියෙන්ම ගන්න පුලුවන්. ඒ දෙක හොයාගත්තට පස්සෙ මේක හදන එක නම් ඔයාලට පොඩ්ඩක්වත් අමාරු වෙන්නෙ නැහැ. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..
මේ තියෙන්නෙ එක එක හැඩයට හදාගත්ත චීස් ක්‍රැකර්ස්.

අවශ්‍ය දේවල්:
  • පාන් පිටි කෝප්ප 1/2
  • එළවළු තෙල් තේ හැදි 1/2
  • බටර් මේස හැදි 2
  • ගාගත්ත චෙඩා චීස් කෝප්ප 3/4
  • ගාගත්ත පාර්මසාන් චීස් කෝප්ප 1/3
  • මිරිස් කුඩු තේ හැදි 1/2
  • ගම්මිරිස් කුඩු පොඩ්ඩක්
  • ලුණු තේ හැදි 1/4
  • සීතල වතුර මේස හැදි 1 (කූල් වතුර)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එකේ දාන්න පුලුවන් ට්‍රේ එකක් අරගෙන ඇලුමිනියම් ෆොයිල් කොළයක් ඒකෙ ඇතුලට ගානට දාගෙන කොලේ ඇතුල් පැත්තෙ තෙල් ටිකක් ගාගන්න.
  • දැන් භාජනයක් අරගෙන ඒකට පාර්මසාන් චීස්, චෙඩාර් චීස්, බටර්, ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු කියන සේරම ජාති ටික දාලා හොදට කලවම් කරගන්න. මේ වැඩේට ස්පැටුලා එකක් අරගන්න. ඒ කිව්වේ පැතලි හැන්දක්.
  • මේ ටික හොදට කලවම් වුනාට පස්සෙ පිටි ටික ඒකට දාලා කලවම් කරගන්න. පිටි ටික කලවම් කරගන්න වැඩේට ගෑරුප්පුවක් පාවිච්ච් කරන්න බලන්න.
  • ඒත් එක්කම වතුර බින්දු 2-3කුත් මිශ්‍රනය උඩින් ඉහගෙන හොදට සේරම ටික කලවම් කරන්න. මේක පිටි බෝලයක් වගේ වෙනකම්ම හොදට කලවම් කරගන්න ඕනෙ.
  • ඊට පස්සෙ හදාගත්ත පිටි බෝලය පොඩ්ඩක් විතර තුනී කරලා අරගෙන ලන්ච් ෂීට් කොළයකින් වහලා විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියන්න.
  • දැන් මේ වැඩ ටික කරන ගමන් අපි අවන් එක 190°C උෂ්ණත්වයට රත් වෙන්න දාගන්න ඕනෙ.
  • විනාඩි 30ක් ගියාට පස්සෙ ඒක එළියට අරගෙන ලෑල්ලක් උඩින් හරි මොකක් හරි පිරිසිදු තැනිතලා මතුපිටක් උඩින් හරි තියලා තුනී කරගන්න ඕනෙ. මේ සේරටම කලින් මේ ලෑල්ල උඩට පිටි ටිකක් ඉහ ගන්න ඕනෙ හොදේ..! නැත්තන් පිටි මිශ්‍රණය ලෑල්ලෙ ඇලෙන්න පුළුවන්.
  • අපි මේ පිටි මිශ්‍රණය අගල් 1/8ක් විතර ඝනකමට තුනී කරන්න ඕනෙ. මේකට අපිට රෝලින් පින් එකක් පාවිච්ච් කරන්න. පුළුවන් නැත්තන් පිරිසිදු වීදුරු බෝතලයකිනුත් මේ වැඩේ කරගන්න පුළුවන්.
  • දැන් මේ විදියට තුනී කරගත්ත පිටි මිශ්‍රනයෙන් අපිට කැමති ක්‍රැකර්ස් හැඩයක් (බිස්කට් හැඩයක්) කපා ගන්න ඕනෙ. මේ වැඩේට බිස්කට් හදන්න ගන්න එක එක හැඩයේ කටර් ජාති ඔයාලට ගන්න පුළුවන් සුපර් මාර්කට් වගේම කේක් බඩු විකුණන්න තියෙන කඩවලිනුත්. කටර් එකක්ම ඕනෙ නැහැ. චුට්ටක් හිතලා බැලුවොත් ඔයාලට ගෙදර තියෙන මොකක් හරි දෙයක්ම මේ වැඩේට පාවිච්චි කරන්න පුලුවන් වෙයි.
  • හරි! මේ විදිහට අපි කැමති විදියෙ හැඩ වලට ක්‍රැකර් ටික කපාගත්තට පස්සෙ ටූත් පික් හරි උල් කරගත්ත ඉරටු කෑල්ලක් වගේ දෙයක් හරි අරගෙන මේ ක්‍රැකර්වල මතු පිටින් පොඩි සිදුරු 4-5ක් හදාගන්න ඕනෙ. අලි නාවන්න පුලුවන් වලවල් එහෙම හදලා අහුවෙනවා එහෙම නෙමෙයි ඕන්! රස වගේම ලස්සනත් තියෙන්න ඕනෙන හින්දා හදිස්සි නොවී හෙමීට මේ වැඩේ කරන්න.
  • ඊට පස්සෙ මේ කපා ගත්ත ක්‍රැකර්ස් ටික පිළිවෙලට අපි කලින් සූදානම් කරගත්ත ට්‍රේ එකේ අහුරගන්න ඕනෙ.
  • එච්චරයි! දැන් අන්තිමටම රත්කරගත්ත අවන් එකට මේ ට්‍රේ එක දාලා විනාඩි 15ක් විතර බේක් කරගන්න තමයි තියෙන්නෙ. බේක් වුන ගමන්ම නම් ඔයාලට කන්න බැහැ. රස බලන්න කලින් ක්‍රැකර් ටික හොදට නිමෙන්න හරින්න.

වැදගත්:
  • චෙඩා චීසුයි, පාර්මසාන් චීසුයි ඔයාලට සුපර් මාර්කට් වලින් ගන්න පුලුවන්.

පොටෝ ටික බලන්නකෝ..
මේ තියෙන්නෙ ඇලුමිනියම් ෆොයිල් කොලයක්. ගොඩක් වෙලාවට කෑම බේක් කරන වැඩ වලදී අපි මේ කොල පාවිච්චි කරනවා.

පිටි මිශ්‍රණය මේ වගේ තූනී කරගන්න ඕනෙ ක්‍රැකර්ස් ටික (බිස්කට් ටික) කපාගන්න කලින්.

මේ තියෙන්නෙ බිස්කට් කපන කටර්. මේවට කුකී කටර් කියලත් කියනවා.

ඊට පස්සෙ කටර් එක පාවිච්චි කරලා තුනී කරගත්ත මිශ්‍රණයෙන් මේ වගේ ක්‍රැකර්ස් කපාගන්න ඕනෙ.

කටර් එකක් නැත්නම් මේ වගේ කොටු හැඩයට කපාගන්නත් පුලුවන්. කපාගත්තට පස්සෙ ටූත් පික් එකකින් හරි ඉරටු කෑල්ලකින් හරි හිල් ටිකක් විදගන්න ක්‍රැකර් ටික උඩින්. ක්‍රැකර්ස් ටික පොඩියින්ම එක හිලක් විදගත්තහම ඇති.

ඊට පස්සෙ මේ කපා ගත්ත ක්‍රැකර්ස් ටික පිළිවෙලට අපි කලින් සූදානම් කරගත්ත ට්‍රේ එකේ අහුරගන්න ඕනෙ. අපේ ට්‍රේ එකට අපි මුලින්ම ඇලුමිනියම් ෆොයිල් කොළයක් දාගෙන ඒක උඩ තමයි අපි ක්‍රැකර්ස් ටික පිළිවෙලට තියාගන්නෙ. ඊට පස්සෙ තියෙන්නෙ බේක් කරගන්න.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත ක්‍රැකර්ස්! ලස්සන හැඩයක් තියෙන කටර් එකක් තියේනම් ලස්සනට ක්‍රැකර්ස් ටික හදාගන්න පුලුවන්.













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්. ක්‍රැකර්ස් ටික හදනකොට මොනවා හරි ගැටලුවක් මතු වුනොත් මේ වීඩියෝ එකත් බලන්නකෝ..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment