About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sesame Aluwa - තල අළුවා

අවුරුදුත් ලගම එන නිසා අළුත් අවුරුදු මේසෙට තියන්න පුළුවන් කෑමක් තමයි අද හදන්න යන්නෙ. මේක අළුවා ජාතිය…
Sesame Aluwa - තල අළුවා
අවුරුදුත් ලගම එන නිසා අළුත් අවුරුදු මේසෙට තියන්න පුළුවන් කෑමක් තමයි අද හදන්න යන්නෙ. මේක අළුවා ජාතියක්. හැබැයි අපි හැමදාන හදන අළුවා නම් නෙමෙයි. තල ඇට, උකු-කල කිරි, අන්නාසි වගේ දේවල් පාවිච්චි කරලා තමයි මේ අළුවා එක හදන්නෙ. මිල්ක් මේඩ් තමයි අපි මේකෙදි පාවිච්චි කරපු උකු-කල කිරි වර්ගය. ඔයාලට ඒ වෙනුවට කැමති වෙනත් උකු-කල කිරි වර්ගයක් උනත් පාවිච්චි කරන්න පුලුවන්. මේ සැරේ අවුරුදු මේසෙට අළුත් කෑමක් හදන්න හිතන් ඉන්නවනම්, ඔන්න ඒ වැඩේට මේ තල අළුවා නියමෙටම ගැලපෙනවා..

අවශ්‍ය දේවල්:
මූලිකවම අපිට ඕනෙ,

  • මිල්ක් මේඩ් පොඩි ටින් 1
  • වතුර ටින් 3/4 (මිල්ක් මේඩ් ටින් එකෙන් තමයි මේක මනින්නෙ)
  • සීනි ග්‍රෑම් 500
  • බැද ගත්ත තල ඇට ග්‍රෑම් 150 (මේක තෙල් නොදා බැදගන්න ඕනෙ. අර අපි කබලෙ බදිනවා කියන්නෙ. අන්න ඒ විදිහට.)
  • බටර් ග්‍රෑම් 50
  • පොඩියට කපාගත්ත කජු ග්‍රෑම් 30
  • කුඩු කරගත්ත එනසාල් ඇට 5-6
  • පොඩියට කපාගත්ත ඉගුරු මේස හැදි 3
  • වැනිලා මේස හැදි 2

මේකග ගන්න අන්නාසි ටික ස්ටූ එකක් වගේ හදාගන්න අපිට ඕනෙ,
  • පොඩියට කපා ගත්ත අන්නාසි ග්‍රෑම් 200
  • වතුර කෝප්ප 1 1/2 (තේ බොන්න ගන්න සාමාන්‍ය අඩු කෝප්පයකින් මැන ගන්න.)
  • සීනී මේස හැදි 3
  • කුරුදු පොතු කෑල්ලක්
  • ඉගුරු පොඩි කෑල්ලක්
  • දෙහි බින්දු 3-4

සාදාගන්නා ආකාරය:
මුලින්ම අන්නාසි ටික ස්ටූ එකක් වගේ හදාගන්න ඕනෙ අපි. ඒක කරන්නෙ මෙහෙමයි,

  • භාජනයක් අරගෙන වතුර කෝප්ප 1 1/2, සීනී මේස හැදි 3, කුරුදු පොතු කෑල්ලක්, ඉගුරු පොඩි කෑල්ලක් එක්ක දෙහි බින්දු 3-4 කුත් දාලා ලිපේ තියාගන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන සීනී ටික දිය වෙනකන්ම මේ ටික ලිපේ තියලා හැදි ගාගන්න.
  • මේ මිශ්‍රණය හොදට රත් වේගෙන එනකොට බුබුළු වගේ එනවා. එතකොට මේ භාජනය පියනකින් වහලා විනාඩි 10ක් විතර තියන්න. ඒකෙන් තමයි මේ ස්ටූ එකේ රස වැඩි වෙන්නෙ.
  • ඊලගට පොතු ඇරලා කපාගත්ත අන්නාසි ටික මේ මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
  • දැන් තවත් විනාඩි 7ක් විතර ලිපේ තියාගන්න (ඒ කියන්නෙ අන්නාසි ටික තැම්බිලා ගානට එනකම්)
  • මෙහෙම හදාගත්ත ස්ටූ එක පැත්තකින් තියලා තියන්න. අපිට පස්සෙ මේක ඕන වෙනවා.
දැන් ඉතුරු වැඩ ටික,
  • දැන් නොන්ස්ටික් භාජනයක් අරගෙන ඒකට මිල්ක් මේඩ් ටිකයි, වතුරයි, සීනී දාලා ලිපේ තියලා හොදට කලවම් කරගන්න. අඩු ගින්දරේ තමයි මේ වැඩේ කරන්න ඕනෙ.
  • මේ විදියට ලිපේ තිබ්බ මිල්ක් මේඩ් මිශ්‍රණය සීනී එක්ක හොදට දිය වෙලා උකු වෙනකම් ලිපේ තියන්න ඕනෙ.
  • ඊළගට ඒකට අපි කලින් හදාගත්ත අන්නාසි ස්ටූ ටිකයි ඉගුරුයි දාලා කලවම් කරලා මිශ්‍රණයේ වතුර ගතිය නැති වෙනකම් තව ටික වෙලාවක් ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ තල ඇට ග්‍රෑම් 60ක්, එනසාල්, වැනිලා ටිකත් දාලා මිශ්‍රණය එකට එකතු වෙනකම් ලිපේ තියාගන්න. ඕනවට වැඩිය ලිපේ තියාගන්න එපා, ලිපේදිම හයි වෙන්න බලනවා ගොඩක් වෙලා තිබ්බොත්.
  • දැන් පැතලි ලෑල්ලක් වගේ දෙයක් අරගෙන ඒකෙ මතුපිට බටර් ගාගන්න.
  • ඊළගට බටර් උඩින් ඉතුරු තල ඇට ටික ඉහ ගන්න.
  • දැන් හදාගත්ත අළුවා මිශ්‍රනය මේ ලෑල්ල උඩට වක්කරලා තුනී කරගන්න. මේකට රෝලින් පින් එකක් ගන්න පුළුවන්. නැත්නම් වීදුරු බෝතලයකින් වගේ තුනී කරගන්නත් පුලුවන්. වැඩි පරිස්සමට වැඩේට කලින් ඒ වගෙත් බටර් ටිකක් ගාගන්නවනම් හොදයි.
  • දැන් මේක තුනී කරගනිද්දි රොටියක් වෙන්න තුනී කරලා එහෙම අහු වෙනවා නෙමෙයි ඕනෙ.. රොටියකට වඩා ඝනකමට තියෙන්න ඕනෙ අළුවා කැටයක් වුනහම.
  • මේ විදියට තුනී කරගත්තට පස්සෙ, ලස්සනට අළුවා කැට ටික කපා ගන්න තමයි තියෙන්නෙ ඉතින්. පොඩි පිහියක් පාවිච්චි කරන්න ඒ වැඩේට.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ තල ඇට.

මේ තියෙන්නෙ ස්ටූ එකක් වගේ හදාගත්ත අන්නාසි.

මේ තියෙන්නෙ රෝලින් පින් එකක්. අළුවා මිශ්‍රණය තුනී කරගන්න මේ වගේ රෝලින් පින් එකක් හරි වීදුරු බෝතලයක් හරි පාවිච්චි කරන්න පුලුවන් ඔයාලට.

මිශ්‍රණය තුනී කරගත්තට පස්සෙ, ලස්සනට අළුවා කැට ටික කපා ගන්න තමයි තියෙන්නෙ ඉතින්. අළුවා කැට කපන්න කලින් තල ඇට ටිකක් තුනී කරගත්ත එක උඩින් ඉහගන්න පුලුවන්නම් තවත් හොදයි. කැට කපාගත්තට පස්සෙ ඉතින් කන්න තමයි තියෙන්නෙ.













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ nestle.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment