About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cornflake cake - කෝන්ෆ්ලේක් කේක්

මේ මොනවාද කියලා හිතාගන්න බැරුවද ඉන්නෙ දැන්? :) :) හි හී.. බොහොම සරලවම කියනවානම් මේක හවස තේ බොන වෙලා…
Cornflake cake - කෝන්ෆ්ලේක් කේක්
මේ මොනවාද කියලා හිතාගන්න බැරුවද ඉන්නෙ දැන්? :) :) හි හී.. බොහොම සරලවම කියනවානම් මේක හවස තේ බොන වෙලාවට එහෙම හදාගන්න පුලුවන් පොඩි කෑමක්. ඔන්න දැන් සමහරුන්ට හිතෙනවා ඇති මේ වෙලාවෙ මොනවාද යකඩො මේ "කෝන්ෆ්ලේක්" කියන්නෙ කියලා නෙහ්? හරි! කෝන්ෆ්ලේක් කියන්නෙ පතුරු පතුරු තියෙන කෑම වර්ගයක්. මේ කියන "කෝන්ෆ්ලේක්" ලංකාවේ කඩවල් වල ගන්න තියෙනවා. ඔන්න පල්ලෙහා ෆොටෝ එකකුත් දාලා තියෙන්නෙ "කෝන්ෆ්ලේක්" වල. "කෝන්ෆ්ලේක් කේක්" කියන්නෙ මේ කිව්ව කෝන්ෆ්ලේකුයි, චොකලටුයි, තව පොඩි පොඩි දේවල් ටිකකුයි පාවිච්චි කරලා හදාගන්න පොඩි කෑමක්. හවසට තේ ටිකක් බොන්න වගේම ඔයාගෙ චූටි බබාගෙ උපන්දින සාදයට වගෙත් මේ කෑම හරි අපූරුවට ගැලපෙනවා. මේක හදාගන්න ඕන කරන්නෙ බොහොම පොඩි දේවල් ටිකක් හින්දා මේක හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නෑ. හරිම ලේසියි හදන්න. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍යය දේවල්:
  • බටර් 75g ක් හෝ අවුන්ස 3ක්
  • කුඩා කැබලි වලට කඩාගත් ඩාර්ක් චොකලට් (Dark Chocolate = කළු පාට චොකොලට්/ උයන්න පාවිච්චි කරන චොකොලට්) 200g ක් හෝ අවුන්ස 7ක්
  • ගෝල්ඩන් සිරප් මේස හැඳි 4 (Golden Syrup)
  • කෝන්ෆ්ලේක් 200g ක් හෝ අවුන්ස 7ක්

සාදාගන්නා ආකරය:
  • මුලින්ම බටර්, චොකොලට් සහ ගෝල්ඩන් සිරප් පොඩි සාස්පානකට දාගෙන අඩු ගින්දරේ රත් කරගන්න ඕනෙ. බටර් සහ චොකොලට් හොදට දියවෙලා ගෝල්ඩන් සිරප් එක්ක හොදට කලවම් උනාට පස්සෙ ලිපෙන් බාලා විනාඩි 5 ක් නිවෙන්න හරින්න.
  • මේ අතරතුර ඔයාට පුලුවන් කප් කේක් හදන්න පාවිච්චි කරන තැටියක් අරන් (කප් කේක් 24 ක් හදන්න පුලුවන් හරි කප් කේක් 12 ක් හදන්න පුලුවන් තැටි 2 ක්), ඒවට කප් කේක් කවර දාලා ලෑස්ති කරගන්න. ඔයාට කප් කේක් තැටියක් නැත්නම් කරන්න තියෙන්නේ, කප් කේක් කවර ටික සාමාන්‍යය කේක් තැටියක් උඩ පිලිවෙලකට අතුරගන්න එකයි. කලබල වෙන්න කාරනයක් නැහැ.
  • ඊට පස්සෙ, අර අපි නිවෙන්න හැරපු "චොකොලට්, ගෝල්ඩන් සිරප් සහ බටර්" මිශ්‍රනයට කෝන්ෆ්ලේක් ටික දාල හොදට මිශ්‍රකරන්න හැම කෝන්ෆ්ලේක් කෑල්ලකම චොකලට් මිශ්‍රනය හොදට තැවරෙනකන්.
  • දැන් කරන්න තියෙන්නේ, අර අපි ලෑස්තිකරගත්තු කප් කේක් කවර වලට හැන්දක් ආධාරයෙන් මේ මිශ්‍රනය ටික ටික දාගන්න එක. එච්චරයි!
  • ඊට පස්සෙ ඉතින් කන්න තමයි තියෙන්නෙ. කවර වලට දාගත්තට පස්සෙ ටික වෙලාවකින් කෑමට ගන්න පුලුවන්.. හිතුවට වඩා වැඩේ ලේසියි නෙහ්?

වැදගත්:
  • Dark Chocolate, එහෙමත් නැත්නම් අපි කළු පාට චොකොලට් කියන ඒවා, එහෙමත් නැත්නම් අපි උයන්න පාවිච්චි කරන චොකොලට් කියන්නෙ ඕනම සුපිරි වෙළෙදසලක පහසුවෙන් හොයාගන්න තියෙන දෙයක්. කේක් බඩු විකුනන්න තියෙන කඩවලත් හොයගන්න පුලුවන්. ලංකාවෙ තියෙනවා Ritzbury කියන වෙළඳ නාමයෙන් උයන්න පාවිච්චි කරන චොකොලට්.
  • ගෝල්ඩන් සිරප් එහෙමත් කේක් බඩු විකුනන කඩවලින් වගේම වගේම ඕනම් සුපිරි වෙළෙදසලකින් හොයාගන්න පුලුවන් ඔයාලට.
  • කෝන්ෆ්ලේක් කියන්නෙ දැන් දැන් ලංකාවෙ ප්‍රසිද්ද උදේ ආහාරයක්. ඕනම සුපිරි වෙළෙදසලක හොයාගන්න පුලුවන්. Kellogg's කියන්නේ කෝන් ෆ්ලේක්ස් සදහා ප්‍රසිද්ධම වෙළෙද නාමයක්.
  • කප් කේක් කවර නම් කේක් බඩු විකුනන කඩවලින් වගේම වගේම ඕනම් සුපිරි වෙළෙදසලකින් පහසුවෙන් හොයාගන්න පුලුවන්.
  • මෙන්න මේ ටිකත් කියන්න ඕන කියලා හිතුනා. මේ කේක් වඩාම රස ටිකක් ශීතකරණයේ දාලා තියලා කෑවමයි. අනික් කාරණය, ඕගොල්ලොන්ට පුලුවන් කෝන්ෆ්ලේක්ස් දාලා කලවම් කරන වෙලාවටම බැදපු කජු මද ටිකක් චූටි කෑලි වලට කපලා කලවම් කරන්න. මිශ්‍රනය කප් කේක් කවර වලට දාලා ඉවරවෙලා ඒක උඩින් කජු කෑලි ටිකක් ඉහගෙන කන්න ගත්තමත් හරිම රසයි.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ කෝන් ෆ්ලේක්ස්.

මේ මම පාවිච් කරපු ඩාර්ක් චොකොලට් (කළු පාට චොකොලට්).

මේ තියෙන්නෙ ගෝල්ඩන් සිරප්.

මේ චොකොලට් ටික සාස්පානකට දාගෙන. දැන් මේකට බටරුයි ෆෝල්ඩන් සිරපුයි දා ගන්න ඕනෙ.

මේ බටරුයි ෆෝල්ඩන් සිරපුයි දා ගත්තාට පස්සෙ.

මේ ඒ ටික දිය කරගෙන අපි හදාගත්ත චොකලට්, බටර් සහ ෆෝල්ඩන් සිරප් මිශ්‍රණය. මේ දේවල් ටික හොදට දිය වෙලා කලවම් වුනාට පස්සෙ ලිපෙන් ඉවත් කරගෙන විනාඩි 5ක් විතර නිවෙන්න හරින්න ඕනෙ.

මේ කෝන්ෆ්ලේක් කෑලි ටික චොකලට් මිශ්‍රණයට දාලා චොකලට් ටික තවරා ගත්තටා පස්සෙ ඒවගෙන් ටික ටික කප් කේක් කවර වලට දාගෙන. මේ ෆොටෝ එක ටිකක් අදුරු හින්දා තමයි මේ ටික කලු පාටට පේන්නෙ. ඇත්තටම මේකෙ ලස්සන දුඹුරු පාටක් තියෙන්නෙ.

ඊට පස්සෙ ටික වෙලාවක් තියලා චොකලට් ටික වේලුනාට පස්සෙ කෑමට ගන්න පුලුවන්.

මේ කේක් ගොඩක්ම රස ටිකක් ෆ්‍රිජ් එකේ දාලා තියලා කෑවම. මේ තියෙන්නේ එහෙම ෆ්‍රිජ් එකේ තියලා එලියට ගත්තු කේක් එකක්. මේ ෆොටෝ එකත් ටිකක් අදුරු හින්දා තමයි මේ කලු පාටට පේන්නෙ. ඇත්තටම මේකෙ ලස්සන දුඹුරු පාටක් තියෙන්නෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ..















wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment