About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tom Yum Fried Rice - ටොම් යම් ෆ්‍රයිඩ් රයිස් (තායි බත් වර්ගයක්)

දන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාම රසවත් තායි බත් වර්ගයක් හදාගන්න විදිහ. මේ ටොම් යම් රස ලබාගන්නේ ගලන්…
Tom Yum Fried Rice - ටොම් යම් ෆ්‍රයිඩ් රයිස් (තායි බත් වර්ගයක්)
දන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාම රසවත් තායි බත් වර්ගයක් හදාගන්න විදිහ. මේ ටොම් යම් රස ලබාගන්නේ ගලන්ගාල් නම් වූ ඉඟුරු වලට සමාන අල වර්ගයක්, කෆීර් ලයිම් කොළ නම් වූ දෙහි කොළ වලට සමාන කොළ වර්ගයක්, සේර, දෙහි යුෂ සහ මිරිස් භාවිතා කිරීමෙන්. ඉතින් අපි හදනකොට මේ දේවල් හොයාගන්න අමාරු හින්දා, ගලන්ගාල් වෙනුවට ඉඟුරු ද, කෆීර් ලයිම් කොළ වෙනුවට දෙහි හෝ නාරං කොළද, තායි මිරිස් කරල් වෙනුවට ඉදුණු අමු මිරිස් කරල්ද පාවිච්චි කරන්න පුලුවන් අපිට. බලන්නකෝ එහෙනම් හදන විදිහ, ඒ වගේම මේ ලිපියේ අනිවාර්යෙන්ම වැදගත් කියන කොටසත් බලන්න..

අවශ්‍ය දේවල්:
ටොම් යම් සෝස් සඳහා:

  • ගලන්ගාල් මේස හැඳි 1 (තලාගත්)
  • සේර කප් 1/4 (සිහින්ව කපාගත්)
  • කෆීර් ලයිම් කොළ 3ක් (සිහින්ව කපාගත්)
  • තායි චිලි පේස්ට් මේස හැන්දක්
  • ෆිෂ් සෝස් මේස හැන්දක්
  • සෝයි සෝස් මේස හැන්දක්
  • සීනි තේ හැන්දක්
  • තායි මිරිස් කරල් 2, 3
  • දෙහි යුෂ මේස හැඳි 2

ෆ්‍රයිඩ් රයිස් සඳහා:
  • තායි ජස්මින් රයිස් කප් 1 1/2 / 200 (තම්බා සිසිල් වූ)
  • ලූනු ගෙඩියක් (පොඩියට කපාගත්)
  • චයිනීස් කැබේජ් හෝ ගෝවා කප් 1 (මධ්‍යම ප්‍රමාණයේ කැබලි වලට කපාගත්)
  • ඉස්සන් 150g (පොතු ඉවත් කරගත්)
  • තක්කාලි ගෙඩි 1 (ඇට ඉවත් කර, පොඩියට කපාගත්)
  • තෙල් කප් 1/4

සාදාගන්නා ආකාරය:

මුලින්ම අපි ටොම් යම් සෝස් එක හදමු:
  • ගලන්ගාල්, කෆීර් ලයිම් කොළ සහ සේර සියල්ල බ්ලෙන්ඩරයට දමා විනාඩියක් බ්ලෙන්ඩ් කරගන්න. (ඔබ සතුව වංගෙඩියක් තිබේනම්, සියල්ලම හොඳින් පොඩිවන තෙක් අතින් තලාගන්න)
  • එයට තායි මිරිස් එකතු කර තවත් විනාඩියක් බ්ලෙන්ඩ් කරගන්න.
  • මිශ්‍රණය බ්ලෙන්ඩරයෙන් ඉවතට ගෙන බෝල් එකකට දමාගන්න.
  • එයට තායි චිලි පේස්ට්, ෆිෂ් සෝස්, සෝයි සෝස්, සීනි, දෙහි යුෂ එකතු කර හොඳින් කළවම් කරන්න.

දැන් හදමු එහෙනම් රයිස් එක:
  • ලොකු සාස්පානක් ලිප තබා එයට තෙල් දමන්න.
  • තෙල් හොඳින් රත්වී එන විට එයට ඉස්සන් එකතු කර හොඳින් බැදගන්න.
  • හොඳින් බැදුණු පසු ඉස්සන් භාජනයෙන් ඉවත් කරගන්න.
  • ඉස්සන් බැදගත් තෙල් වලට ලූනු එකතු කර විනාඩියක් පමණ බැදගන්න.
  • එයට චයිනීස් කැබේජ් හෝ ගෝවා එක් කර එහා මෙහා කරමින් තවත් විනාඩි දෙකක් හොඳින් බැදගන්න.
  • එයට සිසිල්වූ බත් එකතු කර, බත් කැටවී ඇත් නම් ඒවා හැන්දෙන් කඩාගන්න.
  • සාදාගන් ටොම් යම් සෝස් මිශ්‍රණය බත් වලට උඩින් දමාගන්න.
  • සෝස් මිශ්‍රණය හොඳින් බත් සමඟ මිශ්‍ර වන තෙක් එහා මෙහා කරමින් හොඳින් කළවම් කරන්න.
  • අවසානයේ බැදගත් ඉස්සන් සහ තක්කාලි එකතු කර විනාඩි 2ක් එහා මෙහා කරමින් හොඳින් කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න. ඔච්චරයි!
  • ලිපෙන් ඉවත් කරගත් ටොම් යම් ෆ්‍රයිඩ් රයිස් මතින් බුල්ස් අයි කළ බිත්තරයක් තබා උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න තමයි තියෙන්නෙ.

වැදගත්:
  • මේ බත් වර්ගය සෑදීමට තායි ජස්මින් රයිස් කියන හාල් හොඳින්ම ගැලපුනත්, මෙය සොයාගැනීමට අපහසු නම්, බාස්මතී හෝ වෙනත් ඕනෑම ඔබ භාවිතා කරන හාල් වර්ගයකින් සාදාගැනීම වරදක් නෑ.
  • ඒ වගේම මෙහිදී මේ බත් කලින් උයාගෙන සිසිල් වී තිබිය යුතුයි. රාත්‍රී ආහාරය සඳහා පිළියෙල කරනවා නම් පහසුවෙන්ම දවල් ඉතිරිවූ බත් භාවිතා කරන්න පුළුවන්.
  • මේ රෙසිපියේදී අප විසින් ඉස්සන් පමණක් භාවිතා කර තිබුණත් ඔබට කැමති ආකාරයෙන් මෙයට දැල්ලන්, මාලු වර්ග වැනි දෑ එක් කරන්න පුළුවන්. නැතිනම් මුහුදු ආහාර සියල්ල ඉවත ලා ඔබ කැමති මස් වර්ගයක් එකතු කර වෙනස්ම රසයක් ඔබට ලබාගන්නත් පුළුවන්.
  • මේ රෙසිපියෙහිදී භාවිතාකරන ගලන්ගාල් වෙනුවට ඉඟුරු ද, කෆීර් ලයිම් කොළ වෙනුවට දෙහි හෝ නාරං කොළද, තායි මිරිස් කරල් වෙනුවට ඉදුණු අමු මිරිස් කරල්ද යොදාගත හැකි බව සලකන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 ගලන්ගාල් වෙනුවට ඉඟුරු පාවිච්චි කරන්නත් පුලුවන්.

 කෆීර් ලයිම් කොළ වෙනුවට දෙහි හෝ නාරං කොළත් පවිච්චි කරන්න පුලුවන්.

 මේ සේර.

මේ අර කියපු තායි ජස්මින් රයිස්. මේවා වෙනුවට බාස්මතී හරි වෙන මොනවා හරි ඔයාලා කැමති හාල් වර්ගයක් ගන්නත් පුලුවන්.

මේ තම්බලා සිසිල් කරගත්ත බත්.

පොත්ත ඉවත් කරලා සුද්ද කරගත්ත ඉස්සො තමයි මේ.

මේ කපාගත්ත ලූනු ගෙඩියක්.

මේ ඇට ඉවත් කරලා පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩියක්.

මේ ටොම් යම් සෝස් එක හදාගන්න කොට.

මේ ඉස්සො බැදගන්න ගමන්.

ලූනුයි චයිනීස් කැබේජ් හරි ගෝවා හරි එක් කර ගෙන ඒ ටිකත් බැද ගන්න ඕනෙ.

බතුයි හදාගත්ත ටොම් යම් සෝස් මිශ්‍රණයයි එකට දාලා හොදට කලවම් කරගන්න ඕනෙ.

අන්තිමට බැදගත්ත ඉස්සොයි, තක්කාලි ටිකයි දාලා විනාඩි 2ක් එහා මෙහා කරමින් හොඳින් කළවම් කරගන්න තමයි තියෙන්නෙ.

 දැන් චුට්ටක් සරසාගෙන උණු උණුවේම පිළිගන්වන්න තමයි තියෙන්නෙ.
















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ බර්නඩින් සහ සජානි කියන මිතුරියන් දෙදෙනාගේ thetastylove.com වෙබ් අඩවියෙන්. එයාලගේ ලිපි අපේ ඉවුම් පිහුම් කට්ටියට බලන්න ඇප් එකේ පළකරන්න අහපුවහම කිසිම අවුලක් නැතිව මිතුරියන් දෙදෙනා හා කිව්වා. ඔවුන්ට බොහොම ස්තූතියි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment