- මිල්ක්මේඩ් 390g ටින් 1ක් (Milkmaid පොඩි ටින් 1)
- සීනි 750g
- තම්බා පොඩි කර ගත් අර්තාපල් 500g
- වැනිලා එසන්ස් (Vanilla Essence) තේ හැදි 2
- බේක් කළ කජු කෑලි 100g - 150g ක් පමණ
- බටර් මේස හැදි 2ක් පමණ
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම තම්බල පොඩි කරපු අල ටිකත් එක්ක සීනි ටික භාජනයකට දා ගෙන ඉතාම අඩු ගින්දරේ ලිපේ තියලා සීනි සම්පූර්ණයෙන්ම දිය වෙනකන් සැරින් සැරේ හැදි ගාන ගමන් හිමීට රත් කරන්න.
- සීනි දිය වුණාට පස්සේ ඒකටම මිල්ක්මේඩ් එකතු කරන් විනාඩි 20 - 30ක් විතර හොදට හැදි ගාන ගමන් අඩු ගින්දරේ මිශ්‍රණය බස්සව ගන්න ඕනේ. (උකු මිශ්‍රණයක් ලැබේවි.)
- දැන් ඒකටම කජු කෑලියි, වැනිලා එසන්සුයි දාලා හොදට කලවම් කර ගන්න ඕන.
- ඊට පස්සේ මිශ්‍රණය එක ගුලියට එන්න ගන්නකන් තවත් වෙලා දිගටම මිශ්‍රණය හොදට හැදි ගාන ගමන් අඩු ගින්දරේ ලිපේ තියා ගන්න. (මිශ්‍රණය එක ගුලියට එන්න ගන්න කොට භාජනේ බිත්ති වලත් සීනි බැදෙන්න අරන් තියේවී.)
- මිශ්‍රණය එක ගුලියට එන්න ගත්ත ගමන් ඒකටම බටර් ටික එකතු කරන් හොදට කලවම් කරලා කලින් බටර් ටිකක් ගා ගෙන ලෑස්ති කර ගත්තු තැටියකට මිශ්‍රණය දාලා අවශ්‍ය ඝනකමට තුනී කරන්න.
- ඊළඟට විනාඩි 5 - 10ක් විතර තියලා පිහියකින් ඉරි ගහලා තවත් ටික වෙලාවක් හයි වෙන්න තියන්න. (විනාඩි 20 - 30ක් විතර යනකොට ගානට සෙට් වෙනවා.)
- අන්තිමට කෑලි කපලා හුළං වදින්නේ නැති වෙන්න අහුර ගන්න.
වැදගත්:
- මේ අල ටොෆි හදන්න නොන්ස්ටික් භාජනයක් (Non-stick pan) ගන්න පුළුවන් නම් ගොඩක් ලේසියි, පහසුයි.
- හැමවෙලේම අඩු ගින්දරේ මිශ්‍රණය ලිපේ තියන්න අමතක කරන්න එපා.
- මෙහෙම හදා ගත්ත අල ටොෆි සති 1 - 1 ½ ක් විතර කල් තියා ගන්න පුළුවන්.
- මේක හදන්න මිල්ක්මේඩ් විතරක්ම නෙමෙයි ඕනෙම උකු කළ කිරි (Condensed milk) වර්ගයක් නැත්තම් ගෙදරම හදා ගත්ත උකු කළ කිරි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. උකු කළ කිරි ගෙදර හදා ගන්න විදිය ගැන ඉවුම් පිහුම් ඇප් එකේ "මිල්ක් මේඩ් / චීස් / යෝගට් / .." කොටසේ තියෙන, "Condensed Milk- උකු කිරි ගෙදරදී හදා ගනිමු." කියන ලිපියේ තියෙනවා.
- වැනිලා එසන්ස් ඔයාලට කේක් බඩු කඩවල් වලින්, සුපර්-මාකට් වලින් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.
පොටෝ ටිකත් බලන්නකෝ..
ඔන්න මුලින්ම පොඩි කරපු අලයි සීනියි එකට දාලා අඩු ගින්දරේ ලිපේ තියා ගෙන තමයි මේ.
මේ සීනි සම්පූර්ණයෙන්ම දිය වුණාම.. දැන් මිල්ක්මේඩ් දාන්න ඕනේ.
මේ මිල්ක්මේඩ් දාන ගමන්.
ඔන්න විනාඩි 20 - 30ක් විතර වෙලා ගියාට පස්සේ.
ඔන්න කජුයි වැනිලයි එකතු කරන ගමන්...
ඔන්න එක ගුලියට එන්න අරන් තියෙන්නේ.. දැන් බටර් එකතු කරලා හොදට කලවම් කරන් තැටියට දාන්න ඕනේ.
මේ බටර් ගාපු තැටියට දාන ගමන්.
මේ තුනී කරාට පස්සේ.. දැන් ඉතින් ගානට ඉරි ගහල ටිකක් සෙට් වෙන්න තියලා කෑලි කපා ගන්න ඕනේ.
මේ තියෙන්නෙ අන්තිමට කෑලි කපාගත්තට පස්සෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ. හුලන් නොවදින විදිහට මේ ටික බෝතලයකට වගේ දාලා අසුර ගත්තොත්, සතියක්-සති එක හමාරක් විතර නරක් නොවී හොදට තියාගන්න පුලුවන්.
මේ මිල්ක්මේඩ් අල ටොෆි හදන විදිහ අපි බලා ගත්තේ Nestlé Lanka අයෙගේ යු-ටියිබ් වීඩියෝ එකකින්. මේ අල ටොෆී හදනකොට මොනවා හරි ගැටලු මතු වුනොත් ඔයාලත් මේ වීඩියෝ එක බලන්න.. (https://www.youtube.com/watch?v=iH_nl3VNovc)