මීට කලින් පතෝල තෙල් දාලා කාලා තියෙනවද? නෑ නේද? ලංකාවේ අපි ගොඩක් වෙලාවට පතෝල කිරි රසට කිරට හදනවා මිසක් තෙල් දාන්නෙ නෑනෙ. ඉතින් දැන් කියලා දෙන්න යන්නෙ කොහොමද පතෝල තෙල් දාලා හදාගන්නෙ කියලා. අලුත් කෑමක්! වෙනසකටත් එක්ක හැමදාම පතෝල හදන විදිහට හදන්නේ නැතුව, මේ විදිහටත් හදලා බලන්නකෝ එහෙනම් එක පාරක් හරි.
අවශ්‍ය දේවල්:
- පතෝල 500g
- තෙල් මේස හැදි 2 - 3ක්
- මිරිස් කුඩු තේ හැදි ½ ක් පමණ
- කහ කුඩු ස්වල්පයක්
- ගම්මිරිස් කුඩු ටිකක් (රස අනුව)
- කඩල පිටි (Chick-Pea flour) තේ හැදි 1
- කෝන් පිටි (Corn Flour) තේ හැදි ½
- ලියා ගත් රට ලූණු ගෙඩි ½ ක් පමණ
- ලුණු (රස අනුව)
- අබ ඇට තේ හැදි ¼ ක් පමණ
- සූදුරු ඇට තේ හැදි 1/8ක් පමණ
- කරපිංචා
- රම්පේ
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම පතෝල ටික පෙරන් ගාලා හොදට සෝද ගන්න ඕනේ.
- ඊළඟට පතෝල දෙකට පලලා මැද ඇට අයින් කරන් හීනියට කපා ගන්න ඕනේ.
- පස්සේ කපා ගත්ත පතෝල ටික භාජනේකට දාලා ඒකටම මිරිස් කුඩු ටිකයි, කහ කුඩු ටිකයි, ගම්මිරිස් කුඩු ටිකයි, කඩල පිටි ටිකයි, කෝන් පිටි ටිකයි දලා අත ගා ගන්න.
- දැන් තාච්චියක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න දෙන්න.
- තෙල් රත් වුණාට පස්සේ ඒකට අබ ඇටයි, සූදුරු ඇටයි දා ගෙන අබ පුපුරනකන් බැදෙන්න දෙන්න.
- ඊට පස්සේ ඒකටම රම්පේ, කරපිංචා, ලියා ගත්ත රට ලූණු එකතු කරලා තෙම්පරාදු කර ගන්න.
- රට ලූණු ටික මෘදු වෙනකන් තෙම්පරාදු වුණාට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා පතෝල ටික එකතු කරන්න.
- රස අනුව ලුණුත් එකතු කරන් සැරින් සැරේ හැදි ගාන ගමන් පියනකින් වහ ගෙන පතෝල තැම්බෙනකන් තෙම්පරාදු කර ගන්න. (අඩිය අල්ලන්න දෙන්න එපා.)
වැදගත්:
- කැමති නම් කෑලි මිරිස් ටිකක් හරි, දෙකට තුනට කඩා ගත්ත වියළි මිරිස් කරල් 2 - 3ක් හරි එකතු කරන්න පුළුවන්.
පොටෝ ටිකත් බලන්නකෝ...
මුලින්ම පතෝල පෙරන් ගාලා හෝද ගෙන දෙකට පලලා මැද ඇට අයින් කරන්න ඕනෙ.
පස්සේ මෙන්න මේ වගේ පතෝල ටික කපා ගෙම භාජනයකට දා ගන්න.
පස්සේ කපා ගත්ත පතෝල වලට මිරිස් කුඩු ටිකයි, කහ කුඩු ටිකයි, ගම්මිරිස් කුඩු ටිකයි, කඩල පිටි ටිකයි, කෝන් පිටි ටිකයි දලා අත ගා ගන්න ඕනෙ.
ඔන්න දැන් තෙල් තාච්චිය ලිපේ තියලා අබයි, සූදුරුයි බැදුනට පස්සේ රම්පේ, කරපිංචා, රට ලූණු එකතු කරන්.
අන්තිමට ඔන්න පතෝල එකතු කරන් තෙම්පරාදු කරන ගමන් තම්යි මේ. රස අනුව ලුණුත් එකතු කරන් සැරින් සැරේ හැදි ගාන ගමන් පියනකින් වහ ගෙන පතෝල තැම්බෙනකන් තෙම්පරාදු කරගන්නයි තියෙන්නෙ දැන්.
වැඩේ ඉවරයි! මේ තියෙන්නෙ ඔය විදිහට හදාගත්ත අපේ රසම රස පතෝල තෙම්පරාදුව. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
ලිපිය ලියන්න කරුණු ලබාගත්තා jeyashriskitchen.com වෙබ් අඩවියෙන්.