Bounty, Tropica වගේ පොල් ඇතුලට දාලා හදලා තියෙන චොකලට් කාලා තියෙනවද? අන්න කෙළ ගිල්ලා. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඒ වගේ පොල් දාපු බාර්ස් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.. ඔව් ඔව් පෙරේතකම ඉවරයක් කරලා දාන්න තමයි හදන්නෙ.. හි හී.. මේවා හදන්න අපිට මහා ලොකු දේවල් ඕන වෙන්නෙත් නෑ. පොලුයි, චොකලටුයි, මිල්ක්මේඩ් එකකුයි විතරයි ඕන වෙන්නෙ. ඔන්න නිවාඩු පාඩු වෙලාවක හදන එකයි තියෙන්නෙ එහෙනම්.
- චොකලට් 425g
- දිසිඳි පොල් (Desiccated Coconut- ඩෙසිකේඩට් කොකොනට්) හෝ ගා ගත් පොල් කප් 3
- උකු කළ ටින් කිරි (Condensed Milk)- මිල්ක්මේඩ් (Milkmaid) 250ml
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම පොල් ටික භාජනේකට දාලා ඒකට උකු කළ ටින් කිරි එකතු කරන් හොදට කලවම් කර ගන්න ඕනේ. (අත් වල ඇලෙන සුළු මිශ්‍රණයක් ලැබේවි.)
- දැන් හදා ගත්ත මිශ්‍රණයෙන් ටික ටික අරන් කැමති හැඩ වලට අවශ්‍ය ප්‍රමාණයට ටිකක් අතින් තද කරලා හදා ගෙන තෙල් කඩදාසියක් දා ගත්ත තැටියක් උඩින් තියන්න. (සැරින් සැරේ අත් සෝද ගන්න, නැත්තම් හොදටම ඇලෙන්න ගනීවි. තියෙනවා නම් සුදුසු මෝල්ඩ් එකකට මිශ්‍රණයෙන් පුරව ගෙන වුණත් හැඩ හදා ගන්න පුළුවන්.)
- ඊට පස්සේ හදා ගත්ත හැඩ පැය ½ ක් විතර අධි ශීතකරණයේ තියා ගන්න. (මෝල්ඩ් එකකට දැම්මා නම් මෝල්ඩ් එක පිටින්ම අධි ශීතකරණයට දා ගන්න.)
- ඊළඟට චොකලට් ටික ඩබල් බොයිල් (Double Boil) ක්‍රමයට දිය කර ගන්න.
- පස්සේ කලින් හදා ගත්ත හැඩ අධි ශීතකරණයෙන් එළියට අර ගෙන දිය කර ගත්ත චොකලට් වල දවටලා ආපහු තෙල් කඩදාසිය දා ගත්ත තැටිය උඩින් තියලා පැය 2 - 3ක් හයි වෙන්න ඇරලා රස බලන්න. (ඉක්මනින්ම චොකලට් සෙට් කර ගන්න ඕන නම් ශීතකරණයෙන් තියා ගන්න.)
වැදගත්:
- ඩබල් බොයිල් ක්‍රමය (Double Boil Method) කියන්නෙ කුඩා බදුනක් සහ එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනක් ගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ ගිල්වා ගෙන කුඩා බදුනෙහි මොනවා හරි දිය කර ගන්න එකට.
- ඔයාලා හදන හැඩයි ඒවා වල ප්‍රමාණයයි අනුව හදා ගන්න පුළුවන් චොකලට් ගාන වෙනස් වෙනවා.
- ටික දවසල් කල් තියා ගන්න ඕනේ නම් අධි ශීතකරනයෙන් තියා ගන්න.
- ඔයාලා කැමතිම චොකලට් වර්ගයක් අර ගන්න පුළුවන්, හැබැයි පුළුවන් තරම් ප්‍රමිතියෙන් උසස් චොකලට් වර්ගයක් පාවිච්චි කරනවා නම් තමයි ගොඩක්ම හොද.
- උකු කළ ටින් කිරි විදියට මිල්ක්මේඩ් (Milkmaid) ලොකු ටින් එක පාවිච්චි කරන්න පුළුවන්.
පොටෝ ටිකත් බලන්නකෝ..
මේ උකු කළ ටින් කිරි (මිල්ක්මේඩ්). මේවානම් අපි හැමෝම දන්නවනෙ.
මේ ගත්ත චොකලට්.
බහිමුකෝ එහෙනම් වැඩේට. මුලින්ම පොල් එක්ක උකු කළ ටින් කිරි කලවම් කරගන්නයි තියෙන්නෙ.
ඊට පස්සෙ මෙන්න මේ වගේ හදා ගත්ත මිශ්‍රණයෙන් හැඩ හදලා තෙල් කඩදාසියක් දාපු තැටියෙන් තියා ගෙන අධි ශීතකරණයට දා ගන්න ඕනෙ.
මේ විදියට තමයි බඩල් බොයිල් ක්‍රමයට චොකලට් දිය කර ගන්නෙ.
ඔන්න අපි දිය කර ගත්ත චොකලට් ටික.
අන්තිමට මෙහෙම තමයි අධි ශීතකරණයෙන් එළියට ගත්ත හැඩ වල චොකලට් දවට ගන්නෙ. ඊට පස්සෙ ආපහු තෙල් කඩදාසිය දා ගත්ත තැටිය උඩින් තියලා පැය 2 - 3ක් හයි වෙන්න තියන්න ඕනෙ.
මේ තියෙන්නෙ ඔය අන්තිමට අපි හදාගත්ත අපේ රසම රස චොකලට් දවටපු පොල් බාර්ස්. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ ඉතින්.
ලිපිය ලියන්න කරුණු ලබාගත්තා notenoughcinnamon.com වෙබ් අඩවියෙන්.