අවශ්‍ය දේවල්:
- රුලං 375g
- ගා ගත් පොල් 300g
- සීනි 500g
- බේක් කරපු කජු 100g (කෑලි වලට චොප් කර ගන්න)
- වතුර අඬු කෝප්ප 1 කට ටිකක් අඩුවෙන්
- වැනිලා තේ හැදි 1
- තලා ගත් කරදමුංගු / එනසාල් ඇට 3 - 4ක්
- සාමාන්‍ය ප්‍රමාණයේ කුරුඳු පොතු 1
- ලුණු තේ හැදි ¼
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම රුලං ටික කබලේ රන්වන් පාට වෙනකන් බැදලා නිවෙන්න තියන්න. (සාමාන්‍ය ගින්දරේ හොදට හැදි ගාන ගමන් බැදෙන්න අරින්න.)
- පස්සේ පොල් ටිකත් වතුර ගතිය අයින් වෙනකන් කබලේ බැදලා ගන්න. (පොල් වල පාට වෙනස් වෙන්න දෙන්න එපා. හොදට හැදි ගාලා අඩු ගින්දරේ කරන්න.)
- ඊට පස්සේ සීනී ටිකයි, වතුර ටිකයි, කුරුඳු පොත්තයි, කරදමුංගු/එනසාල් ඇට ටිකයි ටිකක් ලොකු භාජනයකට දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගන්න ඕන.
- සීනි හොදට දිය වෙලා නටා ගෙන එන කොට ලිපේ ගින්දර අඩු කරලා වැනිලයි, ලුණුයි දාලා කලවම් කරන්න.
- පස්සේ කරදමුංගුයි, කුරුඳු පොත්තයි අයින් කරන්න.
- ඊළඟට භාජනේ බිත්ති වල යන්තමින් සීනි බැදී ගෙන එන කොට කජු කෑලියි, කබලේ බැද්පු පොලුයි දාලා හොදට කලවම් කරලා ලිප නිවන්න.
- ලිප නිවුවට පස්සේ රුලං ටික දාලා හොදට කලවම් කරන්න.
- පස්සේ ආයෙත් ලිපේන් තියලා බොහොම අඩු ගින්දරේ මිශ්‍රණය එක ගුලියට එනකන් දිගටම හැදි ගාන ගමන් මිශ්‍ර කර ගන්න ඕන.
- ඊට පස්සේ බටර් ටිකක් ගාපු තැටියක තුනී කරලා ඉරි ගහන්න.
- විනාඩි 5ක් විතර නිවෙන්න තියලා වටේ සෙට් වෙලා එනකොට කලින් ගහපු ඉරි දිගේ කෑලි කපන්න.
- අන්තිමට පැය භාගයක් විතර නිවෙන්න තියලා කෑලි වෙන් කරන්න.
වැදගත්:
- ගාපු පොල් වෙනුවට දිසිඳි පොල් (ඩෙසිකේටඩ් කොකොනට්- Desiccated Coconut) වුණත් පාවිච්චි කරන්න පුළුවන්, එතකොට කබලේ බදින්න ඕනේත් නැහැ.
පොටෝ ටිකත් බලන්නකෝ..
මුලින්ම රුලං ටික මේ වගේ කබලේ බදින්න ඕනෙ.
ඔන්න පොල් ටිකත් කබලේ බැද ගත්තා. Desiccated Coconut ගන්නවනම් කබලේ බදින්න ඕනෙ නැහැ.
මේ තියෙන්නෙ සීනීයි, වතුරයි, කුරුඳු පොත්තයි, කරදමුංගු එනසාල් ඇටයි භාජනේට දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගෙන නටන්න ගත්තට පස්සේ වැනිලයි ලුණුයි එකතු කරන්..
ඔන්න කලින් කබලේ බැදපු පොල් ටිකත් එකතු කළා දැන්.
ඔන්න රුළං ටිකත් එකතු කරන්.. දැන් වතුර ගතිය අඩු වෙලා එක ගුලියට එනකන් කලවම් කරන්න ඕනේ.
ඔන්න බටර් ගාපු තැටියේ තුනී කළා.. දැන් ඉරි ගහ ගන්න තමයි තියෙන්නෙ.
අන්තිමට මේ වගේ ඉරි ගහ ගෙන ටිකක් නිවුනට පස්සේ කපලා කෑලි වෙන් කර ගන්න ඕන.
දැන් ඉතිං කන්න තමයි තියෙන්නෙ ඕන්..
ලිපිය ලිව්වේ සෙව්මි උපේක්ෂා මිතුරිය. සෙව්මිට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට නිතරම එයා දන්න කියන කෑම ජාති හදන විදිහ කියලා දෙන එකට. බොහොම ස්තූතියි සෙව්මි. ලඟදීම අපේ මිතුරියගේ තවත් ලිපියකින් නැවතත් ඇයව හමුවෙමුකෝ එහෙනම්...