About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

පැව්ලෝවා - Pavlova

පැව්ලෝවා කියන නම අපිට හුරු පුරුදු නැති වුනාට, පැව්ලෝවා කියන්නෙ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල ගො…
පැව්ලෝවා - Pavlova
පැව්ලෝවා කියන නම අපිට හුරු පුරුදු නැති වුනාට, පැව්ලෝවා කියන්නෙ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල ගොඩක් ජනප්‍රිය අතුරු පසක්. ඉතින් දැන් මේ කියලා දෙන්න හදන්නෙ පැව්ලෝවා ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
පැව්ලෝවා එක සඳහා අවශ්‍ය දේවල්:
  • බිත්තර සුදුමද (Egg Whites) 4
  • ලුණු තේ හැදි ¼
  • සීනි 250g
  • කෝන් පිටි (Corn Flour) මේස හැදි 1
  • සුදු විනාකිරි (White Vinegar) මේස හැදි 1
  • වැනිලා (Vanilla) තේ හැදි ½

ස්ටෝබෙරි සෝස් එක සඳහා අවශ්‍ය දේවල්:
  • ස්ටෝබෙරි (Strawberry) ගෙඩි 200g
  • සීනි මේස හැදි 1
  • වැනිලා (Vanilla) තේ හැදි 1
  • වතුර අඬු කෝප්ප 1/4කට අඩුවෙන්
  • රම් හෝ බ්‍රැන්ඩි මේස හැදි 1ක් පමණ කැමති නම් පමණක්
  • ලුණු ස්වල්පයක්

සරසා ගැනීම සඳහා අවශ්‍ය දේවල්:
  • ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) 250ml
  • වැනිලා (Vanilla) තේ හැදි 1
  • ස්ටෝබෙරි (Strawberry) ගෙඩි 100g

සාදා ගන්නා ආකාරය:
පැව්ලෝවා එක හදන විදිහ:
  • මුලින්ම ටිකක් ලොකු පිරිසිදු වියළි භාජනයක් අරන් ඒකට බිත්තර සුදුමද ටිකත් එක්ක ලුණු ටික දා ගෙන විනාඩි 2 - 3ක් සාමාන්‍ය වේගයෙන් සොෆ්ට් පීක් (Soft Peak) අවස්ථාවට පත් වෙනකන් බීට් කර ගන්න.
  • පස්සේ සීනි ටිකත් සැරින් සැරේ ටික ටික එකතු කරන ගමන් සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා ඝන මටසිලිටු ෂිෆ්ට් පීක් (Sift Peaks) ලැබෙනකන් බීටර් එකේ උපරිම වේගෙන් බීට් කරන්න. (කිසිම වෙලාවක බීට් කරන එක නවත්තන්න එපා, සීනි එකතු කරන කොටත් දිගටම බීට් කර ගන්න නවත්තන්නේ නැතුව.)
  • ඊට පස්සේ ඒකටම වැනිලා ටිකත් එකතු කරලා තප්පර 10 ක් විතර යන්තමින් බීට් කර ගන්න. (වැඩිය බීට් කරන්න එපා. කලවම් වෙනකන් බීට් වුණාම ඇති.)
  • දැන් සුදු විනාකිරි ටිකත් ඒකටම දා ගන්න.
  • ඊට පස්සේ ඒ මිශ්‍රණයටම කෝන් පිටි ටික පෙරනකින් ඉහ ගන්න.
  • දැන් හිමීට මිශ්‍රණය හැන්දකින් පෙරලන ගමන් කලවම් කර ගන්න. (ඔක්කොම හොදට කලවම් වුණාම ඇති, ඕනවට වඩා කලවම් කරන්න යන්න එපා.)
  • ඊළඟට මිශ්‍රණය තෙල් කඩදාසියක් දා ගත්ත තැටියකට රවුමට කේක් එකක හැඩේ වගේ ලැබෙන්න දා ගන්න. (පහළ ෆොටෝ බැලුවහම තේරේවි.)
  • පස්සේ කලින් 150°C / 300°F උෂ්ණත්වයට රත් කර ගත්ත අවන් එකක පැය 1 විනාඩි 15ක් විතර බේක් කර ගෙන නිවෙන්න තියන්න. (පැව්ලෝවා එක සම්පූර්ණයෙන්ම නිවෙන්න ඕනේ.)

ස්ටෝබෙරි සිරප් එක හදන විදිහ:
  • ස්ටෝබරි වල නැටි අයින් කරලා සෝද ගෙන 4ට පලා ගන්න.
  • පස්සේ පෑන් එකක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා ඒකට වතුර ටිකයි සීනි ටිකයි දා ගෙන නටනකන් උණු කරන්න.
  • වතුර නටන්න ගත්තට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා ස්ටෝබෙරි ටික එකතු කරන් පියනකින් වහ ගෙන විනාඩි 15ක් විතර සැරින් සැරේ හැදි ගාන ගමන් උයා ගන්න.
  • අන්තිමට ඒකටම වැනිලා ටිකයි, රම්/බ්‍රැන්ඩි ටිකයි, ලුණු ටිකයි එකතු කරලා තවත් විනාඩි 3 - 5ක් විතර දියර ගතිය අඩු වෙනකන් උයලා ලිපෙන් බාලා නිවෙන්න තියන්න. (පියගෙන් වහන්නේ නැතුව උයා ගන්න.)

පැව්ලෝවා එක සරස ගන්න විදිහ:
  • ඊළඟට ෆ්‍රෙෂ් ක්‍රීම් වලට වැනිලා එකතු කරන් සොෆ්ට් පීක් ලැබෙනකන් බීට් කර ගන්න.
  • අන්තිමට කලින් හදා ගෙන නිවෙන්න තියපු පැව්ලෝවා එක අරන් ඒකට උඩින් බීට් කරපු ෆ්‍රෙෂ් ක්‍රීම් දා ගන්න.
  • පස්සේ ඊටත් උඩින් හදා ගත්ත ස්ටෝබෙරි සිරප් එක ස්ටෝබෙරි කෑලි එක්කම දා ගන්න.
  • අන්තිමට ඉතුරු ස්ටෝබෙරි ගෙඩි වලින් සරස ගෙන කෑමට ගන්න. (කැමති නම් ටික වෙලාවක් ශීතකරණයේ තියා ගෙන කෑමට පුළුවන්.)

වැදගත්:
  • සොෆ්ට් පීක්ස් (Soft Peaks)/ ෂිෆ්ට් පීක්ස් (Shift Peaks) එනකන් බීට් කර ගන්න කියන දේ තේරෙන්නේ නැත්තම් ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කොටසේ තියෙන, "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු." කියන ලිපිය පොඩ්ඩක් කියවලා බලන්නකෝ.
  • සීනි ටික ග්‍රයින්ඩරයකින් කුඩු කර ගන්න. (එතකොට ලේසියි.)
  • පැව්ලෝවා මිශ්‍රණය බීට් කරන කොට / කලවම් කරන කොට හැමවෙලේම එකම අතකට විතරක් බීට් / කලවම් කරන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ බිත්තර සුදුමද ටිකත් එක්ක ලුණු ටික දා ගෙන විනාඩි 2 - 3ක් සාමාන්‍ය වේගයෙන් සොෆ්ට් පීක් අවස්ථාවට පත් වෙනකන් බීට් කරගත්තට පස්සෙ.

මේ සීනි සැරින් සැරේ ටික ටික එකතු කරන ගමන් සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා ඝන මටසිලිටු ෂිෆ්ට් පීක් ලැබෙනකන් බීටර් එකේ උපරිම වේගෙන් බීට් කරන ගමන්.

 මේ තියෙන්නේ සීනි ඔක්කොම දාලා ෂිෆ්ට් පීක්ස් එනකන් බීට් කර ගත්තට පස්සේ.

ඔන්න වැනිලා ටිකත් එකතු කරලා යන්තමින් බීට් කර ගන්න හදන්නේ.

ඔන්න සුදු විනාකිරි ටිකත් ඒකටම දා ගන්නවා.

මේ මිශ්‍රණයට කෝන් පිටි ටික පෙරනකින් ඉහ ගන්න ගමන්.

මෙහෙම හිමීට මිශ්‍රණය හැන්දකින් පෙරලන ගමන් කලවම් කර ගන්න.

 මේ තියෙන්නේ තෙල් කඩදාසියක් දා ගත්ත තැටියකට රවුමට කේක් එකක හැඩේ වගේ ලැබෙන්න මිශ්‍රණය දා ගෙන.

 මේ බේක් කරන ගමන්. බේක් කරලා ඉවර වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම නිවෙන්න අරින්න ඕනේ.

 ඔන්න දැන් අපි ස්ටෝබෙරි සිරප් එක හදන ගමන්.

 දැන් ඔන්න ෆ්‍රෙෂ් ක්‍රීම් වලට වැනිලා එකතු කරන් බීට් කරන්න හදන්නේ..

 මේ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම නිවුනට පස්සේ පැව්ලෝවා එකට බීට් කරපු ෆ්‍රෙෂ් ක්‍රීම් දා ගෙන.

 ඔන්න ඒ උඩින් ස්ටෝබෙරි සිරප් එක දාලා ස්ටෝබෙරි ගෙඩි වලින් සරස ගෙන. ඔච්චරයි. දැන් වැඩේ ඉවරයි.

දැන් ඉතින් ලොකුම ලොකුම ලොකුම කෑල්ලක් කපාගෙන කන්න තමයි තියෙන්නෙ. සෑහෙන්න මහන්සිත් එක්කනෙ මේක හදලා නෙහ්.









ලිපිය ලියන්න කරුණු ලබාගත්තා hezzi-dsbooksandcooks.com වෙබ් අඩවියෙන්, goodfood.com.au වෙබ් අඩවියෙන් හා kwgls.wordpress.com බ්ලොග් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment