ඉවුම් පිහුම් ඇප් එකේ සලාද වර්ග හදන විදිහ කියල දෙනකොට, ඒ වගේම සමහර ශෝටීස් වර්ග කනකොට මයෝනීස් කියලා සෝස් වගේ දෙයක් ගන්නවා කියලා කිව්වා මතකද? මේ කියලා දෙන්න යන්නෙ අන්න ඒ මයෝනීස්, ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා..
- බිත්තර කහමද 3
- තෙල් 300ml
- අඹරා ගත් අබ තේ හැදි ¼ - ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
- ලෙමන් යුෂ (Lemon Juice) මේස හැදි 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
- අඹරා ගත් සුදුලූණු බික් 1 - 2ක් (කැමති නම් පමණක්)
- ලුණු (රස අනුව)
- ගම්මිරිස් කුඩු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම බිත්තර කහමද ටික පිරිසිදු වියළි භාජනයකට දා ගන්න.
- දැන් ඒකටම අඹරපු අබ ටිකයි, අඹරපු සුදුලූණුයි දා ගෙන කලවම් වෙනකන් යන්තමින් විස්ක් / බීට් කර ගන්න.
- ඊට පස්සේ බොහොම හිමින් තෙල් වක් කරන ගමන් උකු වී ගෙන එනකන් හොදට විස්ක් / බීට් කරන්න. (දිගටම නොනවත්වාම විස්ක් / බීට් කරන්න ඕනේ. පුළුවන් තරම් හිමින් තෙල් දා ගන්න විස්ක් / බීට් කරන ගමන්.)
- මිශ්‍රණය උකු වී ගෙන ආවහම තෙල් වක් කරන වේගය ටිකක් වැඩි කරන්න. (දිගටම නොනවත්වාම විස්ක් / බීට් කරන්න ඕනේ.)
- මිශ්‍රණය හොදට උකු, මතුපිටින් දිලිසෙන, ඝනකම් ක්‍රීම් ගතියට එනකන් හොදට විස්ක් / බීට් කර ගන්න ඕනේ.
- අන්තිමට රස අනුව ලෙමන් යුෂයි, ලුණුයි, ගම්මිරිස් කුඩුයි එකතු කරන් කලවම් වෙනකන් යන්තමින් විස්ක් / බීට් කරලා ශීතකරණයට දා ගෙන තියා ගන්න.
වැදගත්:
- මෙහෙම හදා ගත්ත මයෝනීස් සතියක් විතර ශීතකරණයේ කල් තියා ගන්න පුළුවන්.
- විස්ක් බීට් කරන කොට එකම අතකට විතරක් බීට් කර ගන්න.
- මේ සඳහා වඩාත්ම සුදුසු ප්‍රමිතියෙන් වැඩි/ඉහළ ග්‍රේප් සීඩ් ඔයිල් (Grape Seed Oil), සූරියකාන්ත තෙල් (Sunflower Oil), කැනෝලා ඔයිල් (Canola Oil), තල තෙල් (Sesame Oil) වගේ තෙල් වර්ග. ඒ තෙල් වර්ග වෙනුවට පොල්තෙල් (Coconut Oil), එළවළු තෙල් (Vegetable Oil) වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
- ඔලිව් තෙල් (Olive oil) පාවිච්චි කරනවා නම් මිශ්‍රණය උකු වී ගෙන එනකන් වෙනත් තෙල් ජාතියක් එකතු කරලා අන්තිම ටිකේ විතරක් ඔලිව් තෙල් එකතු කරන්න. (සම්පූර්ණයෙන්ම ඔලිව් තෙල් එකතු කරාම තිත්ත ගතියක් එන්න පුළුවන්.)
- මේ සඳහා ෆුඩ් ප්‍රොසෙසර් (Food Processer) එකක් හරි බ්ලෙන්ඩර් (Blender) එකක් හරි හෑන්ඩ් බීටර් (Hand beater) එකක් හරි පාවිච්චි කරනවා නම් වඩාත් හොදයි, ඒ වගේම එතකොට ඉක්මන්, ලේසියි, පහසුයි.
- ලෙමන් යුෂ වෙනුවට දෙහි යුෂ පාවිච්චි කරන්න පුළුවන්.
- ඔයාලා කැමති නම් මිරිස් කුඩු හරි, කෑලි මිරිස් හරි යන්තමින් එකතු කර ගන්න පුළුවන්.
පොටෝ ටිකත් බලන්නකෝ..
මේ මුලින්ම අඹරපු අබ ටිකයි, අඹරපු සුදුලූණුයි, බිත්තර කහමද වලට දා ගෙන කලවම් වෙනකන් යන්තමින් විස්ක් බීට් කර ගෙන..
මෙන්න මේ වගේ හිමීට තෙල් වක් කරන ගමන් උකු වී ගෙන එනකන් හොදට විස්ක් බීට් කරන්න ඕනේ.
මිශ්‍රණය හොදට උකු, මතුපිටින් දිලිසෙන, ඝනකම් ක්‍රීම් ගතියට එනකන් හොදට විස්ක් බීට් කර ගන්න ඕනෙ මේ වගේ.
අන්තිමට රස අනුව ලෙමන් යුෂයි, ලුණුයි, ගම්මිරිස් කුඩුයි එකතු කරන් කලවම් වෙනකන් යන්තමින් විස්ක් / බීට් කරලා ශීතකරණයට දා ගෙන තියා ගන්නයි තියෙන්නෙ. ඔච්චරයි!
මේ ලිපිය ලියන්න kitchenistadiaries.com වෙබ් අඩවියේ, jamieoliver.com වෙබ් අඩවියේ හා mnwelldir.org වෙබ් අඩවියේ ලිපි වලින් හා මේ යූටියුබ් වීඩියෝ එකෙන් කරුණු ලබා ගත්තා.