About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Rasgulla - රස්ගුල්ලා

අහලා තියෙනවද රස්ගුල්ලා කියලා රස කෑමක් ගැන? රස්ගුල්ලා කියන්නෙ ඉන්දියානු කැවිලි වර්ගයක්. හරිම රසවත් ව…
Rasgulla - රස්ගුල්ලා
අහලා තියෙනවද රස්ගුල්ලා කියලා රස කෑමක් ගැන? රස්ගුල්ලා කියන්නෙ ඉන්දියානු කැවිලි වර්ගයක්. හරිම රසවත් වගේම, රස්ගුල්ලා කියන්නෙ පැණි රස පුළුන් බෝල වගෙ කෑමක්. බලන්නකෝ එහෙනම් රස්ගුල්ලා හදන්නේ කොහොමද කියලා..


අවශ්‍ය දේවල්:
රස්ගුල්ලා බෝල සඳහා අවශ්‍ය දේවල්:
  • සම්පූර්ණ යොදය සහිත නැවුම් කිරි (Full cream fresh milk) 1L
  • මී කිරි (Curd) කප් ½ (120ml)
  • අයිස් වතුර (Cold water- කූල් වතුර) 1L (නැත්තම් ඇයිස් කැට- Ice Cubes කප් 1)
  • රුලං පිටි (Semolina Flour) මේස හැදි 1

රස්ගුල්ලා සිරප් එක සඳහා අවශ්‍ය දේවල් :
  • සීනි කප් 1 ½ ( 350g)
  • වතුර 2 ¼ (600ml)
  • කුරුඳු කුඩු තේ හැදි ¼
  • රෝස් වතුර (Rose water) තේ හැදි ½

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම නැවුම් කිරි ටික භාජනේකට දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගෙන රත් කරන්න ගන්න.
  • කිරි ටික නටා ගෙන එන කොට මී කිරි දා ගෙන හොදට කලවම් කරන්න.
  • ටික වෙලාවක් යන කොට කිරි කැටි ගැහෙන්න ගන්නවා පේන්න ගනීවි.
  • කිරි ටික සම්පූර්ණයෙන්ම කැටි ගැහෙනකන් හොදට හැදි ගා ගන්න ඕනේ. (සම්පූර්ණයෙන්ම කිරි කැටි ගැහෙන්න මී කිරි මදි වගේ නම් තව ටිකක් දා ගෙන හොදට හැදි ගාන්න.)
  • කිරි සම්පූර්ණයෙන්ම කැටි ගැහුනට පස්සේ ලා කොළ පාටට හුරු දියරයක් උඩ කිරි කැටි පාවෙන්න ගන්නවා, අන්න එතකොට ලිප නිවලා අයිස් වතුර හරි අයිස් කැට ටික හරි දා ගෙන හොදට කලවම් කර ගන්න ඕනේ. (මෙහෙම අයිස් වතුර / කැට එකතු කරන්නේ මේ මිශ්‍රණය තවත් උණු වතුරේ තිබිලා තැම්බෙන එක නවත්තන්න. නැත්තම් රස්ගුල්ලා වල මෘදු ගතිය එනවා අඩුයි.)
  • දැන් පිරිසිදු කපු රෙදි කෑල්ලක් එලා ගත්තු පෙනේරයක් අරන් ඒකට කැටි ගැහිච්ච කිරි මිශ්‍රණය වක් කර ගන්න.
  • පස්සේ රෙදි කෑල්ල වටේට එකතු කරලා මිටියක් වගේ ගහ ගෙන හොදට මිරිකන්න. (පුළුවන් තරම් වතුර අයින් කර ගන්න ඕනේ.)
  • දැන් ඒ උඩින් ටිකක් ලොකු බරක් තියලා විනාඩි 30 - 45ක් විතර එහෙම්මම තියෙන්න අරින්න.
  • ඊට පස්සේ රෙදි කෑල්ල අයින් කරලා හදා ගත්ත මිශ්‍රණයට රුලං පිටි දා ගෙන හොදට විනාඩි 10ක් විතර අතින් අනා ගන්න. (හරි පදමට ඇනුනහම බොහොම මෘදු ගතියක් දැනෙනවා, ඒ වගේම පිටි මෝලියක වගේ සුමුදු කැඩෙන්නේ නැති ගුලියක් විදියට හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ, තව යන්තමින් තෙල් ගතියක් අත් වලට දැනේවී, ඒ කියන්නේ පදම හරි. තෙල් ගතිය දැනෙන්න ගත්ත ගමන් අනන එක නවත්තන්න, වැඩිපුර ඇනුනොත් ගිතෙල් වෙන් වෙන්න අරන් රස්ගුල්ලා හදා ගන්න බැරි වෙනවා.)
  • දැන් අනා ගත්ත මිශ්‍රණයෙන් එක සමාන ගානට එන විදියට පොඩි ගුලි හදා ගෙන හොදට බෝල කර ගෙන තෙත රෙදි කෑල්ලකින් වහ ගෙන පැත්තකින් තියා ගන්න ඕන වෙනකන්.
  • ඊළඟට ලොකු භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා සීනියි වතුරයි දා ගෙන උණු කරන්න ගන්න. (අනිවාර්යයෙන්ම හොදට ඉඩ තියෙන ලොකු භාජනයක් ගන්න ඕනේ.)
  • සිරප් මිශ්‍රණය නටා ගෙන එන කොට ඒකටම කුරුඳු කුඩුත් එක්ක රෝස් වතුර දා ගෙන හොදට කලවම් කරන් තවත් විනාඩි 2 - 3ක් විතර හොදට නටන්න දෙන්න.
  • පස්සේ ගින්දර ටිකක් අඩු කරලා හිමින් සීරුවේ පරිස්සමින් කලින් හදා ගත්ත රස්ගුල්ලා බෝල ටික දා ගෙන පියනකින් වහ ගෙන විනාඩි 2 - 3කට පාරක් සැරින් සැරේ හැදි ගාන ගමන් විනාඩි 10 - 15ක් විතර රස්ගුල්ලා තැම්බෙන්න දෙන්න. (ඕනවට වඩා රස්ගුල්ල උයන්න යන්න එපා, එහෙම වුණොත් රබර් වගේ ඇදෙන ගතියක් එන්න පුළුවන්, නැත්තම් රස්ගුල්ලා ටික කුඩු වෙන්නත් පුළුවන්. තව හැදි ගාන කොට පුළුවන් තරම් පරිස්සම් වෙන්න බලන්න.)
  • රස්ගුල්ලා හරි පදමට තැම්බුනහම උයා ගන්න කලින් ප්‍රමාණයට වඩා දෙගුණයක් විතර ලොකු වෙනවා, ඒ වගේම රස්ගුල්ලා බෝලයක් අතට අරන් ඇඟිලි තුඩු වලින් තද කරලා අත් ඇරියහම කලින් තිබුන විදියටම එනවා නිකන් පිං පොං බෝලයක් වගේ, තව වතුර වීදුරුවකට රස්ගුල්ලා බෝලයක් දැම්මහම වීදුරුවේ අඩියට බහිනවා, වතුරේ පාවෙන්නේ නැහැ. (මේ දේවල් කරලා හරි ගානට තැම්බිලාද කියලා බලා ගන්න පුළුවන් ඔයාලට.)
  • අන්තිමට හදා ගත්ත රස්ගුල්ලා නිවෙන්න තියලා රස බලන්න, කැමති නම් ශිතකරණයේ තියලා ටිකක් කූල් කරන් වුණත් අර ගන්න පුළුවන්. (නොතේරෙන දෙයක් තියෙනවා නම් පහළ තියෙන ෆොටෝ ටික බලන්නකෝ.)

වැදගත්:
  • රුලං පිටි වෙනුවට කෝන් ෆ්ලා (Corn Flour) හරි, පාන් පිටි හරි මේස හැන්දක් වගේ දා ගන්න පුළුවන්. (මෙහෙම එකතු කරන්නේ රස්ගුල්ලා බෝල කැඩෙන්නේ නැති වෙන්න, මේවා නොදා වුණත් හදන්න පුළුවන්.)
  • රස්ගුල්ලා හදන කොට හරි පදමට අනා ගන්න එක වගේම, හරි පදමට රස්ගුල්ලා බෝල උයා ගන්න එකත් ගොඩක් වැදගත්. (ඒ නිසා ඒ දේවල් ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න.)

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ කිරි ලිපේ තියලා නටන කොට මී කිරි එකතු කරන ගමන්..

 මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම කිරි කැටි ගැහුනට පස්සෙ.

 මේ කූල් වතුර එකතු කරන ගමන්.

 පිරිසිදු කපු රෙදි කෑල්ලක් එලා ගත්තු පෙනේරයක් අරන් ඒකට කැටි ගැහිච්ච කිරි මිශ්‍රණය වක් කර ගන්න ඕනේ මේ වගේ..

 දැන් වැඩිපුර වතුර මිරික ගන්න.

 පස්සේ මේ වගේ බරක් උඩින් තියලා තියන්න විනාඩි 30 - 45 ක් වගේ.

 දැන් රෙදි කෑල්ල අයින් කරලා රුලං පිටි දා ගෙන අනන්න ගන්න.

 මේ අනන ගමන්.

 ඔන්න අනලා ඉවරයි.

 මේ විදියට අතින් තද කරලා රවුමට බෝල හදා ගන්න ඕනෙ දැන්.

මේ තියෙන්නෙ එහෙම හදාගත්ත බෝල.

ඔන්න තෙත රෙදි කෑල්ලකින් වහ ගත්තා හදපු බෝල ටික. දැන් ඔය ටික පැත්තකින් තියන්න පස්සෙ ඕනෙ වුනහම ගන්න.

ඊට පස්සෙ මේ වගේ ලොකු භාජනේකට සීනියි වතුරයි දාලා ලිපේ තියන්න.

ඊට පස්සෙ සීනි සිරප් එක නටන කොට කුරුඳුයි රෝස් වතුරයි දා ගෙන කලවම් කරලා තවත් විනාඩි 2 - 3ක් හොදට නටන්න දෙන්න.

ඊට පස්සේ ලිපේ ගින්දර ටිකක් අඩු කරලා පරිස්සමින් හදා ගත්ත රස්ගුල්ලා බෝල දා ගන්න නටන සිරප් එකට.

දැන් පියනකින් වහ ගෙන සැරින් සැරේ හැදි ගාන ගමන් විනාඩි 10 - 15ක් විතර රස්ගුල්ලා උයා ගන්න.

ඔන්න දැන් අපි රසම රස රස්ගුල්ලා හදලා ඉවරයි, නිවෙන්න තියලා කන්න තමයි තියෙන්නේ ඉතින්.

රස්ගුල්ලා බෝලයක් ඇඟිලි වලින් තද කරලා අත් ඇරියහම කලින් තිබුන විදියටම එනවා, තව වතුර වීදුරුවකට දැම්මහම වීදුරුවේ අඩියට බහිනවා, වතුරේ පාවෙන්නේ නැහැ හරි පදමට තැම්බිලා නම්.

මේ තියෙන්නේ සිරප් එකට දාලා තම්බන්න කලින් රස්ගුල්ලා බෝලයි (වම් පැත්තේ), තම්බපු බෝලයි (දකුණු පැත්තේ). වෙනස තේරෙනවා නේ, තැම්බුනු රස්ගුල්ලා බෝල ප්‍රමාණයෙන් ලොකුයි.







මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ indianhealthyrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment