කොහිල කියන්නෙ අපේ අය කන්න කැමතිම දෙයක්නෙ!! ඇත්තට? කොහෙද දන්නෙ නෑ එහෙම අය ඉන්නෙ නෙහ්? කොහිල කියන්නෙ අපේ ගොඩක් අයට පෙන්නන්න බැරි නොම්බර එකේ කෑමක්නෙ. හැබැයි කොහිල කියන්නෙ බොහොම ගුණවත් කෑමක්. කොහිල දළු, අල කියලා විශේෂයක් නෑ, අපේ ගෙවල් වල ලොකු පොඩි කවුරුත් එක වගේම කොහිල වලට කැමති නෑනෙ. ඒකට හේතුව වෙලා තියෙන්නෙ අපි කොහිල උයන විදිහ. කොහිල කියන්නෙ තව මොනවා හරි එක්ක කලවම් කරලා ඉව්වහම ඇත්තටම හරිම රසවත් කෑමක්. ගොඩක් වෙලාවට අපි කොහිල දළු කලවම් කරලා උයන්නෙ පරිප්පුත් එක්ක. හරිම රසයි මේ විදිහට උයලා. බලන්නකෝ එහෙනම් පරිප්පු දාලා කොහිල දළු උයන්නේ කොහොමද කියලා..
- කොහිල දළු මිටියක්
- පරිප්පු කප් ¼ - ½ ක් පමණ
- සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 6 - 7ක්
- හීනියට කපා ගත් අමු මිරිස් කරල් 2 - 3
- පොඩියට කපා ගත් සුදුලූණු බික් 1 - 2ක්
- උම්බලකඩ කෑලි ටිකක් (කැමති නම් පමණක්)
- රම්පේ
- කරපිංචා
- මිරිස් කුඩු තේ හැදි ¾ ක් පමණ (අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගන්න.)
- තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ (අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගන්න.)
- කුහ කුඩු ස්වල්පයක්
- ලුණු (රස අනුව)
- දිය කිරි අඬු කෝප්ප ¾ ක් පමණ
- මිටි කිරි අඬු කෝප්ප ½ ක් පමණ
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම කොහිල දළු වල බදේ තියෙන කටු පිහියකින් ගා ගෙන අයින් කරලා හොදට සෝද ගෙන ටිකක් වෙලා වතුර බේරෙන්න තියා ගන්න.
- ඊට පස්සේ කොහිල දළු වල ඉදන් පහළ බද වෙනකන්ම අතින් කෑලි වලට කඩා ගන්න ඕනේ. (අතින් කැඩෙන්නේ නැති ගානට මෝරපු කොටස් අයින් කර ගන්න.)
- පස්සේ පරිප්පු ටිකත් හොදට හෝදලා අරන් කඩා ගත්තු කොහිල දළුත් එක්ක ඇතිලියකට දාන්න.
- ඒකටම රතු ලූණු, සුදුලූණු, රම්පේ, කරපිංචා, අමු මිරිස්, උම්බලකඩ දා ගන්න.
- ඊළඟට රස අනුව ලුණුයි, මිරිස් කුඩුයි, කහ කුඩුයි, තුනපහ කුඩුයි එකතු කරලා හොදට මිශ්‍ර කරන් දිය කිරි දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගන්න.
- අන්තිමට දිය කිරි හිදුනට පස්සේ මිටි කිරි එකතු කරලා මද ගින්දරේ හොදින් හිඳෙන්න ඇරලා රස බලන්න.
මේ තියෙන්නෙ අපි හැමෝම දන්න පරිප්පුයි කොහිල දළුයි.