"කලියා" කියන්නෙ අපේ මුස්ලිම් යාලුවො හදන කෑමක්. මීට කලින් අපි ඉවුම් පිහුම් ඇප් එකේ "කලියා" හදන විදිහ කියලා දුන්නනේ. ඒ ලිපියේදී අපි කිව්වා මීට වඩා රසට කලියා හදන්න අපේ ඇප් එකේ යාලුවෝ දන්නවනම් ඕන් අපි හැමෝටම කියලා දෙන්න ඕනෙ එහෙනම් කියලා. ඉතින් අපේ සුපුරුදු මිතුරියක් වන ෆාතිමා මිතුරිය ඒක දැකලා, "අය්යේ, අපේ ගෙදර නම් කලියා හදන්නේ මෙහෙමයි" කියලා අපිට ලිපියක් එවලා තිබුණා. මේ ඒ ලිපිය.
අවශ්‍ය දේවල්:
කලියා එක සඳහා අවශ්‍ය දේවල්:
- වම්බටු 500g
- අර්තාපල් 250g
- අළු කෙසෙල් 250g
- විනාකිරි තේ හැදි 2
- මිරිස් කුඩු තේ හැදි ¼
- කහ කුඩු ටිකක්
- තුනපහ තේ හැදි 1
- දිය කිරි 150ml
- මිටි කිරි 150ml
- කපා ගත් අමු මිරිස් කරල් 2
- කපා ගත් රට ලූණු ගෙඩි 2
- රම්පේ
- කරපිංචා
- කුරුඳු පොතු කෑල්ලක්
- සීනි තේ හැදි 1 ½
- තලා ගත් සුදුලූණු බික් 2
- තලා ගත් පොඩි ඉඟුරු කෑල්ලක්
- තෙල්
- ලුණු (රස අනුව)
තෙම්පරාදුව සඳහා අවශ්‍ය දේවල්:
- අබ ඇට ටිකක්
- ලියා ගත් ළුණු ටිකක්
- රම්පේ
- කරපිංචා
- තලා ගත් ඉඟුරු ටිකක්
- තලා ගත් සුදුළුණු ටිකක්
- තෙල් ටිකක්
සාදා ගන්නා ආකාරය:
- වම්බටු, අල, අළු කෙසෙල් කොටු හැඩයට කපා ගෙන කහ කුඩුයි ලුණු වතුරයි එක්ක කලවම් කරලා තාච්චියේ තෙල් රත් වුණාට පස්සේ වම්බටු, අළු කෙසෙල්, අල වෙන වෙනම බැඳ ගන්න ලා දුඹුරු පාටට.
- පස්සේ පෑන් එකක් හෝ තාච්චියක් අරන් දිය කිරි, විනාකිරි, කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ළුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, ලුණු දමා ලිපේ තියන්න.
- උතුරන කොට බැද ගත් අල, වම්බටු, අළු කෙසෙල් ටික දාලා මිටි කිරිත් දමා කලියා මිශ්‍රණයට සීනි ටිකත් එකතු කර ටිකක් උතුරන්න හරින්න.
- ටික වෙලාවකින් ලිප off කරන්න.
- ඊට පස්සේ වෙනම තාච්චියට තෙල් දමා රත් වුණාට පස්සේ අබ, ළුණු, රම්පේ කරපිංචා, තලා ගත් ඉඟුරු, සුදුළුණු දමා දුඹුරු පැහැය වෙනකං බැඳ ගන්න.
- බැදුනට පස්සේ කලියා මිශ්‍රණයට උඩින් හැමතැනටම දාන්න.
ලිපිය ලිව්වේ ෆාතිමා රිස්නා මිතුරිය. අපි චුට්ටක් චුට්ටක් විතර ලිපියේ පොඩි පොඩි සිංහල අකුරු ටිකක්, වචන ටිකක් වෙනස් කරා. හිතනවා අපේ මිතුරිය අපිත් එක්ක තරහා නැතුව ඇති කියලා ලිපියේ ඒ කරපු වෙනස්කම් ටිකට ඕන්.