About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fruit Trifle - ෆෘට් ට්‍රෆල් හදන්නේ මෙහෙමයි.

ඔන්න අපේ සුපුරුදු මිතුරිය සෙව්මි, ඔයාලට දැන් රසම රස අතුරුපසක් හදාගන්න විදිහ කියලා දෙන්නයි යන්නෙ. මේ…
Fruit Trifle - ෆෘට් ට්‍රෆල් හදන්නේ මෙහෙමයි.
ඔන්න අපේ සුපුරුදු මිතුරිය සෙව්මි, ඔයාලට දැන් රසම රස අතුරුපසක් හදාගන්න විදිහ කියලා දෙන්නයි යන්නෙ. මේකට කියන්නෙ "ෆෘට් ට්‍රෆල්" කියලාලුනෙ. බලන්නකෝ එහෙනම් එයාගෙම වචන වලින් මේ ෆෘට් ට්‍රෆල් හදන්නේ කොහොමද කියලා..

" මං ඔයාලාට මේ දෙන්නේ පොඩි අදහසක් විතරයි මේ අතුරුපස ගැන. ෆෘට් ට්‍රෆල් කියන්නේ තමන් කැමති පළතුරු ජාතියක් දා ගෙන, තම තමන් කැමති ඕනෙම පුඩිං හරි ක්‍රීම් හරි වර්ගයක් ටොපින් එකක් විදියට (ඒ කියන්නෙ පුඩිං හරි ක්‍රීම් හරි වර්ගයක් අපි මේ හදාගන්න එක උඩෙන් දාගෙන කියලා) දාලා ආස කරන ඕනේම විදියකට හදන්න පුළුවන් අතුරුපසකට. පළතුරු නැතුව වුණත් හදන්න පුළුවන් ඉතින්, එතකොට කේක් කෑලියි පුඩිං හරි ක්‍රීම් හරි විතරයි තියෙන්නේ. මගේ මේ ලිපියේ පහළ "වැදගත්" කොටසේ මේක හදන්න ගන්න පුළුවන් වෙන ජාති ගොඩක් තියෙනවා, කියවල බලන්නකෝ.. අමුත්තෝ එන වෙලාවට නියම අතුරුපසක්! ලේසියි, රසයි, ඒ වගේම ගොඩක් ලස්සනයි.

මේ මං හදපු විදිය, හැබැයි මුල් ෆොටෝ එක ඇරෙන්න අනිත් ෆොටෝ මගේ නෙමෙයි. මට හදන කොට ෆොටෝ හරියට ෆොටෝ ගහන්න වුණේ නැහැ. ෆොටෝ ගහන්න මතක් වෙනකොට භාගයක් කාලා ඉවරයි. ඒත් ඔයාලට තේරෙන්නත් එක්ක පොඩි ෆොටෝ ටිකක් උදාහරණ විදියට දාලා තියෙනවා පහළින්. එහෙනම් හදලා බලන්න ඔයාලා කැමති ඕනේම විදියකට.... "



අවශ්‍ය දේවල්:
  • වැනිලා කස්ටඩ් පවුඩර් (Vanilla Custard Powder) මේස හැදි 2 ½
  • සීනි මේස හැදි 2
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්- Fresh Milk) 500ml
  • බටර් කේක් (Butter Cake) 400g
  • ඇපල් (Apples) ගෙඩි 2
  • වැනිලා (Vanilla) තේ හැදි ¾
  • දෙහි ගෙඩියක යුෂ (Lime Juice)
  • අයිස් වතුර (කූල් වතුර) මේස හැදි 2 - 3ක්
  • රතු මිදි (Red Grapes) 150g
  • කොළ මිදි (Green Grapes) 200g
  • දම් පාට මිදි (Purple / Black Grapes) 200g
  • පොඩියට කපා ගත්ත පුහුල් දෝසි 50g
  • උකු කළ කිරි (Condensed Milk)- මිල්ක්මේඩ් (Milkmaid) මේස හැදි 6ක් (කැමති නම් පමණක්)
  • ග්‍රේට් කර ගත් මිල්ක් චොකලට් 50g
  • විපින් ක්‍රීම් (Whipping cream) හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) 250ml

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම නැවුම් කිරි වලින් ටිකක් අරන් ඒකට වැනිලා කස්ටඩ් පවුඩර් ටික දාලා හොදට දිය කර ගන්න ඕනේ. (නැවුම් කිරි අඬු කෝප්ප ½ ක වගේ දිය කරන්න.)
  • පස්සේ භාජනයකට ඉතුරු නැවුම් කිරි ටිකත් එක්ක සීනි දා ගෙන අඩු ගින්දරේ ලිපේ තියලා හැදි ගාන ගමන් රත් කරන්න ගන්න.
  • කිරි සාමාන්‍ය ගානට රත් වුණාට පස්සේ ඒකටම වැනිලා කස්ටර්ඩ් පවුඩර් දිය කරපු නැවුම් කිරි දාලා නොනවත්වා හැදි ගාන ගමන් උතුරනකන් රත් කරන්න.
  • කස්ටඩ් මිශ්‍රණය නටා ගෙන ඇවිත් ගානට උකු වේ ගෙන එනකොටම ලිපෙන් බා ගෙන තවත් විනාඩි 2 - 3ක් යනකන් දිගටම හැදි ගාන්න ඕනේ.
  • ඊට පස්සේ හදා ගත්ත කස්ටඩ් එක පැත්තකින් තියලා නිවෙන්න අරින්න.
  • දැන් බටර් කේක් ටික අරන් පොඩි කොටු වලට කපා ගෙන පැත්තකින් තියන්න. (ගෙදර හදපු බටර් කේක් නම් ගොඩක් හොදයි. මං නම් කඩෙන් ගත්තේ.)
  • ඊට පස්සේ වෙනත් භාජනයක් අරන් ඒකට දෙහි ගෙඩියේ යුෂ ටිකයි අයිස් වතුර(කූල් වතුර) ටිකයි දාන්න.
  • පස්සේ ඒකටම වැනිලා ටිකත් දා ගෙන කලවම් කරන්න.
  • දැන් ඇපල් ගෙඩි අරන් හෝදලා පොත්ත අයින් කරලා සුද්ද කරන් පොඩි කොටු හැඩයට කෑලි වලට කපලා හදා ගත්ත දෙහි යුෂ වැනිලා මිශ්‍රණයට දාලා හොදට කලවම් කරන්න. (කපපු ගමන්ම දාලා දෙහි එක්ක කලවම් කරන්න ඕනේ, නැත්තම් කහට පිපෙනවා. ඇපල් පොත්ත හැපෙනවට කැමති නම් සුද්ද නොකර තියා ගන්න. මං නම් ඇපල් පොත්ත පිටින්ම පොඩි කෑලි වලට කපා ගත්තා.
  • දැන් මිදි ජාති තුනම අරන් හෝදලා කෑලි කපලා ඇට අයින් කරලා භාජනේකට වෙනම දා ගන්න. (මිදි ගෙඩි පොඩි, ඇට නැති වර්ගයක් නම් කපන්න ඕනේ නැහැ. මං නම් දම් පාට මිදියි, කොළ මිදියි දෙකට කැපුවා, රතු පාට මිදි හතරට කැපුවා.)
  • ඔන්න දැන් ගැඹුර වැඩි වීදුරු බෝල් එකක් හරි ගැළපෙන වෙන භාජනයක් හරි අර ගෙන ඒකේ අඩියට කපා ගත්ත බටර් කේක් වලින් භාගයක් දා ගෙන අතුර ගන්න ඕනේ.
  • දැන් උකු කළ කිරි වලින් මේස හැදි 3ක් අරන් ටිකක් උඩ ඉදන් කේක් කෑලි වලට යන්තමින් වැටෙන්න වක් කරන්න (Drizzle) ඕනේ.
  • පස්සේ කපපු ඇපල් වලින් භාගයක් ඒ උඩින් අතුර ගන්න.
  • ඊට පස්සේ පුහුල් දෝසි කෑලි වලිනුත් භාගයක් ඇපල් කෑලි වලට උඩින් ඉහ ගන්න ඕනේ.
  • ඊට පස්සේ මිදි ජාති තුනෙන්ම බාගේ බාගේ අරන් එකතු කරලා උඩින් දා ගන්න.
  • ඊළඟට සම්පූර්ණයෙන්ම නිවුනට පස්සේ හදා ගත්ත කස්ටඩ් වලින් භාගයක් පළතුරු තට්ටු ටික උඩින් වක් කර ගන්න.
  • දැන් ආපහු ඉතුරු කේක් ඔක්කොම අරන් කේක් තට්ටුවක් දාන්න, ඒ උඩින් ඉතුරු උකු කළ කිරි මේස හැදි 3ත් වක් කර ගන්න (Drizzle).
  • ඊට පස්සේ ආයෙත් ඉතුරු පළතුරු ටිකයි, පුහුල් දෝසි ටිකයි, ඔක්කොම අරන් කලින් විදියට තට්ටු දා ගන්න ඕනේ.
  • දැන් ඒ උඩින් ඉතුරු කස්ටඩ් ටික දාලා ශීතකරණයට දාලා පැය ½ ක් විතර තියන්න.
  • ඒ අතරතුරේ විපින් ක්‍රීම් හරි ෆ්‍රෙෂ් ක්‍රීම් හරි අරන් බීට් කර ගන්න ඕනේ. (සොෆ්ට් පීක්- Soft Peaks එනකන් බීට් කරන්න.)
  • අන්තිමට අපි ටික වෙලාවකට ශීතකරණයට දාපු අපේ අතුරුපස එළියට අරන් ඒ උඩින් බීට් කරපු විපින් ක්‍රීම් / ෆ්‍රෙෂ් ක්‍රීම් දාලා ගේට් කරපු චොකලට් ටික උඩින් ඉහ ගන්න.
  • අන්තිමට කැමති විදියකට සරසලා අවම පැය 3 - 4ක් වත් ශීතකරණයේ තියලා රස බලන්න පුළුවන්.

වැදගත්:
  • ඔයාලට කැමති ඕනෑම නැවුම් පළතුරු ජාති ගන්න පුළුවන්. හැබැයි ඒ ගන්න ජාති ගැළපෙන්න ඕනේ. ඇපල්, මිදි (Grapes), ස්ටෝබෙරි, බ්ලූබෙරි (Blueberry), චෙරි (Cherry), අන්නාසි, පීච් (Peach), ප්ලම් (Plums) වගේ ගොඩාක් ජාති පුළුවන්. පාට පාට ගොඩක් වැටුනහමත් ලස්සන වැඩියි නේ ඉතින්.
  • පුඩිං ජාති / ක්‍රීම් ජාති ගැන කිව්වත් පළතුරු වගේම ගැළපෙන ඕනේම පුඩිං / ක්‍රීම් ජාතියක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මං අරන් තියෙන ජාති වලට අමතරව උදාහරණ විදියට වැනිලා පුඩින්, ස්ටෝබෙරි පුඩිං, බටර් ස්කොච් පුඩිං (Butter Scotch Pudding), මූස් වර්ග (Mousse), යෝගට්, ක්‍රීම් චීස් (Cream Cheese), ජෑම් වර්ග, කැරමල් සෝස් (Caramel Sauce), ජෙලි (Jelly) වුණත් මේකට ගන්න පුළුවන්. එකම දේ ගන්න ජාති ගැළපෙන විදියට හිතලා ගන්න.
  • කේක් ගෙදරම හදලා ගන්න පුළුවන් නම් වැඩිය හොදයි. බටර් කේක් වෙනුවට ස්පොන්ජ් කේක් (Sponge Cake), පවුන්ඩ් කේක් (Pound Cake), පිලෝ කේක් (Pillow Cake) වගේ ගැළපෙන ඕනේම කේක් ජාතියක් පුළුවන් ඉතින්. (කේක් ජාති ගොඩක් හදන විදිය ඇප් එකේම තියෙනවා නේ.)
  • සොෆ්ට් පීක්ස්- Soft Peaks එනකන් බීට් කර ගන්න කියන දේ තේරෙන්නේ නැත්තම් ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කොටසේ තියෙන, "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු." කියන ලිපිය පොඩ්ඩක් කියවලා බලන්නකෝ.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ ගත්ත දේවල් ටිකක්

මේ වගේ කේක් කෑලි ටික කපාගන්න.

මේ මුල්ම කේක් තට්ටුව අතුර ගෙන

 මේ වගේ යන්තමින් උකු කළ කිරි වක් කර ගන්න කේක් උඩින්. ඒ ඇති.

 ඇපල් දා ගත්තට පස්සේ මෙහෙමයි.

 මේ මිදි ටික දාගත්තට පස්සෙ

 ඔන්න අන්තිම කස්ටඩ් තට්ටුව.

 මේ බීට් කරපු විපින් ක්‍රීම්, ෆ්‍රෙෂ් ක්‍රීම් දාලා..

 කැමති විදියකට සරස ගෙන ෆ්‍රිජ් එකට දාන්න ඕනේ අන්තිමට. අවම පැය 3 - 4ක් වත් ෆ්‍රිජ් එකේ තියන්න අමතක කරන්න එපා.

 මේ තියෙන්නෙ ඔය විදිහටම හදාගත්ත ෆෘට් ට්‍රෆල් කිහිපයක්.

 මේ පළතුරු නැතුව ජෙලි දාලා හදපු ට්‍රෆල් එකක්.









ලිපිය ලිව්වේ සෙව්මි උපේක්ෂා මිතුරිය. එයාත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එකේ ආහාර වට්ටොරු කියවන මිතුරියක්නෙ. සෙව්මි මිතුරිය බොහොම ස්තූතියි නේද අපිට මේ වගේ අලුත් දේවල් හැමදාම කියලා දෙනවට. බොහොම ස්තූතියි සෙව්මි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment