About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Vegetable Manchuriyan - එළවළු මැන්චූරියන්

කැමති නැද්ද හැමදාම කන එළවළු ටිකක් වෙනස් විදියකට හදන් අළුත් අත්දැකීමක් ගන්න? මේ කියලා දෙන්න යන්නෙ අ…
Vegetable Manchuriyan - එළවළු මැන්චූරියන්
කැමති නැද්ද හැමදාම කන එළවළු ටිකක් වෙනස් විදියකට හදන් අළුත් අත්දැකීමක් ගන්න? මේ කියලා දෙන්න යන්නෙ අන්න එහෙම දෙයක්, එළවළු එහෙම කටේ තියන්න අකමැති පොඩ්ඩො ඉන්න අම්මලාට ඔන්න සතුටු වෙන්න පුළුවන්, මෙහෙම එළවළු හදලා දීලා ඕන්. අපි හදන්න යන දේට කියන්නෙ එළවළු මැන්චූරියන් (Vegetable Manchurian) කියලා. හිතාගන්නකෝ අපි මේ හදන්න යන්නෙ එළවළු බෝල කියලා.. එහෙනම් බලන්නකෝ මේවා හදන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්:
එළවළු බෝල සාදා ගැනීමට අවශ්‍ය දේවල්:

  • චොප් කර ගත් ගෝවා කප් 1 (චොප් කර ගත් ගෝවා කියන්නෙ ඉතාම පොඩියට කපාගත්ත ගෝවා වලට)
  • චොප් කර ගත් කැරට් කප් 1
  • චොප් කර ගත් මාළු මිරිස් කප් 1
  • චොප් කර ගත් බෝංචි කප් 1
  • චොප් කර ගත් අමු මිරිස් කරල් 5ක් පමණ
  • සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 10ක් පමණ
  • පාන් පිටි කප් ¼
  • ඉරිඟු පිටි (කෝන් ෆ්ලා- Corn Flour) කප් ¼
  • පාන් කුඩු (Bread Crumbs) මේස හැදි 2-3ක්
  • අඹරා ගත් සුදුලූණු තේ හැදි 1
  • අඹරා ගත් ඉඟුරු තේ හැදි 1
  • මිරිස් කුඩු තේ හැදි 1ක් හෝ කෑලි මිරිස් තේ හැදි 1 ½ ක් පමණ (කැමති නම් පමණක් දා ගන්න)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (රස අනුව)
  • ලුණු කුඩු ස්වල්පයක් (රස අනුව)
  • මයෝනීස් (Mayonnaise) මේස හැදි 2-3ක් (කැමති නම් පමණක් දා ගන්න.)
  • සෝයා සෝස් (Soya Sauce) තේ හැදි 1
  • ඔලිව් තෙල් (Olive oil) මේස හැදි 2-3ක්
  • වතුර ස්වල්පයක් (අවශ්‍ය නම් පමණක් දා ගන්න)
  • තෙල් (බැද ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට)

එළවළු මැන්චූරියන් එක සඳහා අවශ්‍ය දේවල්:
  • අඹරා ගත් සුදු ලූණු බික් 3-4ක්
  • අඹරා ගත් ඉඟුරු තේ හැදි 1 ½
  • ලොකු කැබලි සිටින සේ පලා ගත් රට ලූණු ගෙඩි 2
  • ලියා ගත් අමු මිරිස් කරල් 2-3ක්
  • කපා ගත් තක්කාලි ගෙඩි 1 ½ ක් පමණ
  • එළවළු තම්බා ගත් වතුර (Vegetable Stock) කප් 2
  • කපා ගත් ලූණු කොළ ටිකක්
  • මිරිස් කුඩු තේ හැදි 1
  • සෝයා සෝස් (Soya Sauce) තේ හැදි 2
  • තක්කාලි සෝස් (Tomato Sauce) තේ හැදි 3
  • සීනි තේ හැදි 1
  • තෙල් ටිකක්
  • ඉරිඟු පිටි (Corn flour) තේ හැදි 1
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (රස අනුව)
  • කෑලි මිරිස් තේ හැදි 1

සාදා ගන්නා ආකාරය:
  • ගෝවා, කැරට්, මාළු මිරිස්, බෝංචි, අමු මිරිස්, රතු ලූණු, සුදුලූණු සහ ඉඟුරු භාජනයකට දමා ගෙන කලවම් කර ගන්න.
  • එයටම රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු හා අවශ්‍ය නම් මිරිස් කුඩු හෝ කෑලි මිරිස් ද දමා ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.
  • පසුව එයටම මයෝනීස්, සෝයා සෝස් හා ඔලිව් තෙල් ද එකතු කර ගන්න.
  • ඉන් පසුව එයට පාන් පිටි, ඉරිඟු පිටි සහ පාන් කුඩු ටික එක් කර හොඳින් අනා ගන්න.
  • මිශ්‍රණයේ එකට ඇලෙන ගතිය මදි නම් පමණක් වතුර ස්වල්පයක් ද එකතු කර ගෙන අනා ගන්න.
  • ඊළඟට එම මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයක් ගෙන ගුලි කර බෝල කර ගන්න.
  • එලෙස සම්පූර්ණ මිශ්‍රණයෙන්ම කුඩා බෝල සාදා ගන්න.
  • දැන් තාච්චියක් ලිප තබා එයට තෙල් දමා ගෙන තෙල් රත් කරන්න ගන්න.
  • තෙල් හොඳින් රත් වූ විට එයට සාදා ගත් එළවළු බෝල දමා රන්වන් පාටට බැද ගෙන තෙල් බේරීමට පසෙකින් තබා ගන්න.
  • දැන් තවත් භාජනයක් ලිප තබා ගෙන එයට තෙල් ටිකක් දා ගන්න.
  • තෙල් රත් වී ගෙන එන විට එයට සුදුලූණු සහ ඉඟුරු එකතු කර යන්තමින් බැදෙන්න හරින්න.
  • පසුව එයටම රට ලූණු හා අමු මිරිස් එකතු කර ටිකක් බැදෙන්න දෙන්න.
  • ඉන් පසුව කලින් සාදා ගත් එළවළු බෝල ටික ද එයටම එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  • පසුව එයටම තක්කාලි ටික එකතු කර වතුර ගතිය අඩු වන තෙක් විනාඩි කිහිපයක් පිස ගන්න.
  • ඒ අතරතුර එළවළු තම්බා ගත් වතුරට ඉරිඟු පිටි එක් කර හොඳින් දිය කර ගෙන එයටම සෝයා සෝස් හා තක්කාලි එකතු කර ගන්න.
  • දැන් ලිපේ තිබෙන එළවළු බෝල මතට දිය කර සාදා ගත් මිශ්‍රණය වක් කර ගෙන මිශ්‍ර කර විනාඩි 2 - 3ක් පමණ මද ගින්නේ පියනකින් වසා ගෙන පිස ගන්න.
  • ඉන්පසුව එයට මිරිස් කුඩු, ලුණු (රස අනුව) සහ ගම්මිරිස් කුඩු (රස අනුව) එකතු කර ගන්න.
  • මිශ්‍රණය ඝන වී ගෙන එන විට එයට සීනි ටික හා කෑලි මිරිස් එකතු කර ගෙන ඝන වන තුරු පිස ගෙන ලිපෙන් බා ගන්න.
  • බා ගත් පසුව එය උඩින් කපා ගත් ලූණු කොළ ටික ඉස ගෙන රස විදින්න.

වැදගත්:
  • මෙය සෑදීමට ඔබට කැමති එළවළු වර්ගයක් එකතු කර ගන්න පුළුවන්.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
ගෝවා, කැරට්, මාළු මිරිස්, බෝංචි, අමු මිරිස්, රතු ලූණු, සුදුලූණු, ඉඟුරු මේ වගේ භාජනයකට දාගෙන හොදට කලවම් කර ගන්න. මේකටම ලුණු, ගම්මිරිස් කුඩු දාගන්න. ඒ වගේම මයෝනීස්, සෝයා සෝස්, ඔලිව් තෙල් දා ගන්නත් ඕනෙ. අන්තිමට පාන් පිටි, ඉරිඟු පිටි, පාන් කුඩු ටික දාගෙන හොදට අනා ගන්න ඕනෙ.

 මේ තියෙන්නෙ හදාගත්ත බෝල

 මේ බෝල ටික බැදගත්තට පස්සෙ

 මේ අන්තිමට පිසගන්න ගමන්.

අන්තිමට ලිපෙන් බාගත්තට පස්සෙ උඩින් කපා ගත් ලූණු කොළ ටික ඉස ගන්න ඕනෙ.

දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment