About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tiramisu - තිරමිසු

ඔන්න තිරමිසු හදන විදිහ කියලා දෙන්න යන්නෙ දැන්. අවශ්‍ය දේවල් ටික දැකපු ගමන්ම කලන්තෙ දාලා එහෙම වැටෙන්…
Tiramisu - තිරමිසු
ඔන්න තිරමිසු හදන විදිහ කියලා දෙන්න යන්නෙ දැන්. අවශ්‍ය දේවල් ටික දැකපු ගමන්ම කලන්තෙ දාලා එහෙම වැටෙන්නෙ නෑ ඕන්. පල්ලෙ වැදගත් කියලා දාලා තියෙන කොටසේ අවශ්‍ය දේවල් ටිකට ආදේශක දාලා තියෙනවා. වෙනත් යුරෝපීය රටක ඉන්න කෙනෙක්ටනම් මේ අවශ්‍ය දේවල් යටතේ දාලා තියෙන බඩු ටිකම හොයාගන්න උත්සාහ කරලා බලන්න පුලුවන් ඕන්. තිරමිසු කියන්නෙ ජනප්‍රිය රසවත් සාම්ප්‍රදායික ඉතාලි අතුරුපසක්.


අවශ්‍ය ද්‍රව්‍ය : (ඔන්න දැන් මෙතන තියෙන ජාති දැකලා බය වෙනවා එහෙම නෙමෙයි. මේ හැම එකටම ආදේශක පල්ලෙ වැදගත් කොටසේ තියෙනවා.)
  • ලේඩි ෆින්ගර්ස් (Lady fingers) 285g
  • ලොකු බිත්තර කහමද 4
  • සීනි 100g
  • මර්සලා වයින් (Marsala wine) 120ml
  • මස්කපෝනේ චීස් (Mascarpone cheese) 450g
  • විපින් ක්‍රීම් (Whipping cream) 360ml
  • එස්ප්‍රෙසෝ කෝපි කුඩු (Espresso coffee powder)
  • සීනි
  • කොකෝවා කුඩු (Cocoa powder) තේ හැදි 2-3ක් පමණ

සාදා ගන්නා ආකාරය :
  • එස්ප්‍රෙසෝ කෝපි කුඩු, සීනි සහ උණු වතුර යොදා ගෙන කෝපි 360ml (අඬු කෝප්ප 1 ½ ක් පමණ) සාදා ගෙන එය නිවෙන්නට හරින්න.
  • තවත් භාජනයක වෙනම විපින් ක්‍රීම් දමා හොඳින් බීට් කර ගෙන බීට් කර ගත් විපින් ක්‍රිම් අවශ්‍ය වන තෙක් ශීතකරණයේ තබන්න.
  • දැන් භාජනයක් ගෙන එයට බිත්තර කහමද දමා ගෙන ඩබල් බොයිල් ක්‍රමයට ලිප තබා ගෙන අත් ගසනයකින්/ හෑන්ඩ් විස්ක් එකකින් (Hand whisk) මදක් ගසා ගන්න.
  • පසුව එයට සිනි ටික එක් කරමින් සීනි දිය වනතුරු දිගටම නොනවත්වා ගසා ගන්න.
  • දැන් එයටම මර්සලා වයින් ටික ද එක් කරමින් බුබුළු දැමීමට පටන් ගෙන ඝන වන තෙක් නොනවත්වා ගසා ගෙන ලිපෙන් ඉවත් කරන්න.
  • ඉන්පසුව වෙනත් භාජනයක් ගෙන එයට මස්කපෝනේ චීස් හා සාදා ගත් බිත්තර කහ මද මිශ්‍රණය රස්නයෙන්ම එක් කර ගෙන හොඳින් බීට් කර ගන්න.
  • දැන් බීට් කර ගත් මිශ්‍රණයටම කලින් සාදා ගත් විපින් ක්‍රීම් එක් කර හැන්දකින් හොඳින් පෙරලමින් කලවම් කර ගන්න.
  • දැන් අතුරුපස සෑදීමට යොදා ගන්නා වීදුරු බෝල් එකක් හෝ සුදුසු භාජනයක් ගන්න.
  • ලේඩි ෆින්ගර්ස් ගෙන එකින් එක කලින් සකස් කර ගත් එස්ප්‍රෙසෝ කෝපි වල පොඟවමින් වීදුරු බෝල් එකේ තට්ටුවක් අතුරා ගන්න.
  • පසුව ක්‍රීම් මිශ්‍රණයෙන් භාගයක් පමණ එයට උඩින් දමා ගෙන සමාන ඝනකම සිටින සේ විසුරුවා ගෙන අතුරා ගන්න.
  • එයට උඩින් නැවත එස්ප්‍රෙසෝ කෝපි වල පොඟවා ගත් ලේඩි ෆින්ගර්ස් තට්ටුවක් අතුරා ගන්න.
  • පසුව ඉතුරු ක්‍රීම් සියල්ලම උඩින් දමා ගෙන අතුරා ගන්න.
  • අවසානයේදී කොකොවා කුඩු තේ කොළ පෙරනයක් වැනි යමක් ආදාරයෙන් උඩින් ඉස ගෙන අවම පැය 4-5ක් වත් ශීතකරණයේ තබා ගෙන රස විදින්න.

වැදගත් :
  • ඉතාලි ජාතිකයන් මේ සඳහා "Savoiardi" නම් බිස්කට්  වර්ගය යොදා ගනී, නමුත් එය සොයා ගැනීමට අපහසු නිසා ලේඩි ෆින්ගර්ස් බිස්කට් මෙහි යොදා ගෙන ඇත, ලේඩි ෆින්ගර්ස් බිස්කට් සුපිරි වෙළද සැල් වලින් ලබා ගත හැකි අතර එය ද සොයා ගැනිම්මට අපහසු නම් ඒ වෙනුවට ආදේශකයක් වශයෙන් ස්පොන්ජ් බිස්කට් (Sponge biscut), මාරි බිස්කට් ආදිය යොදා ගත හැකිය.
  • මර්සලා වයින් වෙනුවට රම් (Rum), බ්‍රැන්ඩි (Brandy) ආදි දෙයක් භාවිතා කළ හැකිය. අකමැති කෙනෙක් හට මෙය යොදා නොගෙන වුවද සැකසිය හැකි අතර අවශ්‍ය නම් මෙයින් ස්වල්පයක් එස්ප්‍රෙසෝ කෝපි සෑදීමේදි ද එක් කළ හැකිය.
  • මස්කපෝනේ චීස් ද සුපිරි වෙළද සැල් වලින් ලබා ගත හැකි අතර නැතහොත් මේ සඳහා ක්‍රීම් චීස් (Cream cheese) හෝ ෆිලඩෙල්ෆියා චීස් (Philadelphia cheese) භාවිතා කරන්න.
  • විපින් ක්‍රීම් ද සුපිරි වෙළද සැල් මඟින් ලබා ගත හැකිය. විපින් ක්‍රීම් සැකසීමේදී කුඩා බදුනක් සහ එය බැස්විය හැකි ප්‍රමාණයේ මදක් විශාල බදුනක් ලෙස බදුන් 2ක් ගෙන විශාල බදුනට අයිස් කැට දමා ගෙන එම අයිස් කැට සහිත බදුනේ අයිස් කැට අතර කුඩා බදුන ගිල්වා එයට විපින් ක්‍රීම දමා ගෙන හොඳින් බීට් කරන්න.
  • එස්ප්‍රෙසෝ කෝපි කුඩු සඳහා නෙස්කැෆේ (Nescafé), බෲ (Bru) ආදී කෝපි වර්ග භාවිතා කළ හැකිය. කෝපි සකස් කිරීමේදී තම තමන්ගෙ රස අනුව අවශ්‍ය ප්‍රමාණයට කෝපි කුඩු සහ සීනී භාවිතා කරන්න.
  • කොකෝවා කුඩු වලට අකමැති කෙනෙක් හට චොකල්ට් ග්‍රේට් කර යොදා ගත හැකිය. මදක් තියුණු කෝපි රසයක් ලැබෙන ලෙස සකස් කර ගන්නවා නම් වඩාත් සුදුසු ය.
  • ඩබල් බොයිල් ක්‍රමය යනු කුඩා බදුනක් සහ එය බැස්විය හැකි ප්‍රමාණයේ විශාල බදුන් 2ක් ගෙන විශාල බදුනට වතුර දමා ලිප තබා එහි කුඩා බදුන ගිල්වා ගෙන කුඩා බදුනට යමක් දමා උණු කිරීමයි.
  • මේ සඳහා කාමර උෂ්ණත්වයේ පවතින බිත්තර කහමද භාවිතා කරන්න.
  • බිත්තර කහමද, සීනි සහ මර්සාලා වයින් ඩබල් බොයිල් කිරීමේදී නොනවත්වාම ගසා ගෙන එය කැටි නොගැසීමට සැළකිලිමත් වන්න.
  • ලේඩි ෆින්ගර්ස් කෝපි වල පෙඟවීමේදී තත්පර 2, 3ක් පොඟවා ගැනීම ප්‍රමාණවත් වේ, නැතහොත් පෙඟී වැඩි වී එය කැඩීමට හැකි අතර තිරමිසු සෑදීමෙන් අනතුරුව එහි දියරමය ගතිය වැඩි ගතියක් ඇති වීමට ද හැකිය.
  • අවශ්‍ය අයෙකුට එස්ප්‍රෙසෝ කෝපි සකස් කර මදක් නිවුනු පසුව එයට මර්සාලා වයින් (Marsala wine)/ රම් (Rum)/ බ්‍රැන්ඩි(Brandy) ස්වල්ප්යක් එක් කර ගත හැකි අතර කැමති නම් එයටම වැනිලා (Vanilla) තේ හැන්දක්, ආමන්ඩ් එසන්ස්(Almond essence) තේ හැන්ද බැගින් ද එක් කර ගත හැකිය.


පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
 විස්ක් එකක්.

 බීටර් එකක්. මේවනම් දන්නවනේ ඔයාලා.
 
 මේ තියෙන්නෙ ගත්ත දේවල්

 ඔන්න මේකෙ තවත් පැහැදිලියි ගත්ත දේවල්


 ලේඩි ෆින්ගර්ස් කලින් සකස් කර ගත් එස්ප්‍රෙසෝ කෝපි වල පොඟවමින් වීදුරු බෝල් එකේ පළවෙනි තට්ටුව අතුරා ගන්න ඕන මේ වගේ.



පසුව ක්‍රීම් මිශ්‍රණයෙන් භාගයක් පමණ එයට උඩින් දමා ගෙන සමාන ඝනකම සිටින සේ විසුරුවා ගෙන අතුරා ගන්න ඕන මේ වගේ. ඊට පස්සෙ තව මේ කරපු විදිහටම තව තට්ටුවක් මාරුවෙන් මාරුවට දාලා අන්තිමට කොකොවා කුඩු උඩින් දාලා ෆ්‍රිජ් එකේ තියලා ගන්න තම්යි තියෙන්නෙ.






හදලා බලන්නකෝ එහෙනම්. මේ ලිපියත් පරිවර්තනයක්. annamariavolpi.com වෙබ් අඩවියෙන් තමයි ගත්තෙ.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment