About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Asmi - ආස්මි හදන්නේ මෙහෙමයි

ගොඩක් අය හදන්න ආසාවෙන් ඉන්න දෙයක් තමයි ආස්මී. ආස්මී හදන එක ලේසි නෑ. සාමාන්‍යයෙන් ආස්මී හදන්න දවුල් …
Asmi - ආස්මි හදන්නේ මෙහෙමයි
ගොඩක් අය හදන්න ආසාවෙන් ඉන්න දෙයක් තමයි ආස්මී. ආස්මී හදන එක ලේසි නෑ. සාමාන්‍යයෙන් ආස්මී හදන්න දවුල් කුරුඳු කොල වල නානු තමයි ගන්නෙ. හැමෝටම දවුල් කුරුඳු කොල හොයාගන්න අමාරු නිසා දැන් කියලා දෙන්න යන්නෙ බණ්ඩක්කා වලින් ආස්මී හදන විදිහ. හදමු එහෙනම්. ආස්මී හදන්න ටිකක් අපහසු වරදින්න ගොඩක් ඉඩ තියෙන කෑමක් නිසා ඉවසීමෙන් හදලා බලන්න. එක සැරෙන්ම හරි නොගියත් අත අරින්න එපා හොඳේ. මුලින් ටිකක් හදලා බලන්න.

සාදාගන්නා ආකාරය:

1. හාල් පිටි පිළියෙළ කර ගැනීම:
  • සුදු කැකුලු හාල් සෝදා වතුර බේරෙන්න විනාඩි 15 පමණ තබා කොටන්න. මේක තමයි වැදගත්ම දේ. අපි සාමාන්‍යයෙන් පිටි කොටන වෙලාවට කරනවා වගේ ගොඩක් වෙලා පොඟව්වොත් මේක වරදිනවා.
  • මේ වැඩේ ග්‍රයින්ඩර් එකකින් කරනවා නම් පහසුයි. හාල් පෙඟිලා නැති නිසා වංගෙඩියේ කොටන්න ටිකක් අමාරු වේවි.
  • කඩේ විකුණන්න තියෙන බැදපු නැති හාල් පිටි ගත්තත් කමක් නෑ. පිටරට වල ඉන්න අයට නම් ඉන්දියන් සහ චීන කඩවල සියුම්ව කොටපු හාල් පිටි ගන්න තියෙනවා. ඒවා වඩාත් පහසුයි.
  • දැන් ඕගන්ඩි රෙදි කෑල්ලකින් (සියුම් ලේස් රෙදි කෑල්ලක් වුණත් කමක් නෑ) පිටි ටික 3 පාරක් හලා ගන්න. පිටි හලපුවා ඇඟිලි වලින් අල්ලලා බැලුවාම මූනේ ගාන පවුඩර් වගේ සිවුම් නම් හරි. මේ විදියට සිවුම්ව පිටි කොටන්න ගොඩක් වෙලා යනවා. කම්මැලි වෙලා බාගෙට වැඩේ කරන්න එපා. එතකොට මුලු මහන්සියම අපරාදේ. 

2. නානු පිළියෙළ කර ගැනීම:
  • බණ්ඩක්කා පොඩි කෑලි කපලා වතුර ටිකක් එක්ක වංගෙඩියේ කොටන්න. Food processor එකක් තියෙනවා නම් වැඩේ හරිම ලේසියි. බ්ලෙන්ඩර් එකකින් නම් පරිස්මෙන් කරන්න. මොකද බණ්ඩක්කා යුෂ නෙවෙයි අපට ඕන. තැලුනාම එන සෙවෙල තමයි ඕන. මේ සෙවෙල ගොඩක් ගණකමට ආපු තරමට හොඳ නිසා වතුර පුලුවන් තරම් අඩුවෙන් දාන්න බලන්න.
  • නානු පුලුවන් තරම් හදාගෙන වැඩේ පටන් ගන්න. මොකද වැඩේ අතර මග නානු හදන්න ගත්තොත් පිටි එක පිපිලා විසි කරන්න වෙනවා. පිටි කොප්ප එකකට නානු කොප්ප දෙකක් වත් තියෙනවා නම් බය නැතිව වැඩේ පටන් ගන්න පුලුවනි. එච්චර ඕන වෙන්නේ නෑ. ඒත් කියන්න බෑනේ.
  • නානු හදනකොට වැදගත්ම දෙයක් තමයි නානු සියුම් රෙදි කෑල්ලකින් පෙරා ගන්න ඕන. බණ්ඩක්කා කෑලි ඉතිරි වෙලා තිබුනොත් ආස්මියේ නූල් අතර කැට වගේ හැදෙනවා.

3. තෙල් තාච්චිය සූදානම් කර ගැනීම:
  • මේකේ මොනවද කියන්න තියෙන්නේ කියලා ඔයාලා හිතාවි. ඇත්තටම කියන්න දෙයක් නෑ. ඒත් ඊලඟ පියවරට යන්න කලින් මේවත් සූදානම් වෙලා තියෙන්න ඕන.
  • පතුල බොකුටු තාච්චියක් තමයි මම නම් හොඳයි කියන්නේ. ඒත් මම non-stick pan එකකත් හැදුවා. කොහොම හරි අඟල් 1 - 1.5 පමණ උසට තෙල් දාලා සූදානම් කර ගන්න.
  • තෙල් හැන්දක්, බැදලා දාන්න බාජනයක් වගේ ඒවත් ඉතින් සූදානම් කර ගන්න. ආයේ උදව්වට කෙනෙකුත් ලඟින් තියා ගන්න. පිටි එකේ අත දා ගත්තාම ඕන වෙන ඒවා හොයන්න එහෙ මෙහේ දුවන්න බෑනේ.

4. පොල් කිරි පිළියෙළ කර ගැනීම:
  • පොල් කිරි හදන්න ඕන අන්තිමටම. නැතිනම් ඒක නරක් වෙන්න ආවම ඔක්කොම විසි කරන්න වෙනවා.
  • මිටි කිරි තමයි ඕන. මදි වුනොත් ගන්න දිය කිරිත් හදා ගෙන තියා ගන්න.
  • මතක තියාගෙන ලුණු ටිකක් පොල් කිරි වලට දාලා හැන්දකින් දිය කරන්න. පොල් කිරි එකට අත දැමීම පුලුවන් තරම් අඩු කරන්න.

5. මිශ්‍රණය සැදීම:
  • දැන් බාජනයකට පිටි දමා (ටිකක් ඉතිරි කර ගන්න) පොල් කිරි වලින් ඉඳි ආප්ප වගේ පදමට කැට නැති වෙන්න හොඳට අනන්න. ඒත් වැඩි වෙලා අන අනා ඉන්න එපා.
  • ඒ මිශ්‍රණයට නානු ටික ටික දමමින් අතින් දිය කරන්න. සැරින් සැරේ අත උස්සලා බලන්න ඇඟිලි වලින් පිටි නූල් වගේ වැක්කෙරෙනවාද කියලා. අත උස්සගෙන ඉන්නකොට නූල් නොකැඩී ටික වේලාවක් වැක්කෙරෙන්න ඕන.
  • නූල් ගණකමයි වගේ නම් හරි නූල් වැඩි වෙලාවක් තියෙන්නේ නෑ නම් හරි තව නානු දාන්න.
  • ඔය වැඩේ අතරේ ලිපත් පත්තු කර ගන්න. අර උදව්වට කෙනෙක් ලඟින් තියා ගන්න කීවේ ඕවට තමයි.

6. ආස්මි සෑදීම:
  • දැන් අත හොඳට මිශ්‍රණයේ දාලා නූල් වැක්කෙරෙන්න ගත්තම තත්පර 2ක් විතර ඉඳලා (මුලින්ම දැම්මම පිටි නූල් ගණකම වැඩි නිසා කැට වගේ හැදෙනවා. ඒකයි ටිකක් ඉන්න කීවේ) රත් වෙච්ච තෙල් එකට උඩින් අත එයා මෙහා ගෙනියන්න හැම තැනටම නූල් වැටෙන විදියට.
  • අත තව දෙපාරක් විතර පිටි වල දවටලා මේ විදියටම කලාම ඇති වෙයි. අවශ්‍ය තරම ඔයාලටම පෙනේවි.
  • දැන් ආස්මිය බැදෙන්න දෙන්න. ගොඩක් කර වෙන්න කලින් දෙකට නවලා හැද්දේ පිටි පැත්ත දාරේට තියලා පොඩ්ඩක් තද කරන්න. ඒ කිව්වෙ දාරේ තුනී වෙන්න නෙවෙයි දාරේ මහත වෙන්න. එතකොට ආස්මිය ගෙඩිය වගේ මහතට ලස්සනට හැදෙනවා.
  • ආස්මි සුදු පාට තියෙද්දිම ලිපෙන් බාන්න. නිවුණු පසු සුලං නොවදින සේ වහලා තියන්න.

7. දෙවෙනි වර බැදීම:
  • ආස්මිය පළවෙනි සැරේ බැද්දට මදි. දෙවෙනි සැරේටත් බදින්න ඕන දවස් 3වත් පරණ වුණාම. එතකොට තමයි සුදු පාට වෙලා පිපිලා මල වගේ එන්නේ. හැබැයි දෙවැනි පාර බදින කොට ඉක්මනින් දාපු ගමන් ගන්න ඕන.

8. පැණි දැමීම:
  • දැන් සීනි අවශ්‍ය පමණ බාජනයකට දමා වතුර සීනි පෙඟෙන ගානට දමා ලිපේ තියන්න. හැන්දකින් දිය කරන්න. අවශ්‍ය පාට ගැනීමට ආහාර වර්ණක දමන්න. පැණි උතුරණ විට ලිපෙන් බා හැන්දකින් ආස්මිය මත කැමති රටාවකට පැණි වත් කරන්න. 

ඔන්න ඉතින් ගුරු මුෂ්ටි තියා ගන්නේ නැතිව දන්න ඔක්කෝම කියලා දුන්නා. පුලුවන් විදියට ෆොටෝ ටිකකුත් දැම්මා. ඔයාලත් හදලා බලන්නකෝ.



 බණ්ඩක්කා වලින් නානු පිළියෙළ කර ගන්න හදන්නෙ.

බණ්ඩක්කා කොටලා ඉවර වුණාම මෙහෙමයි.

නානු මේ වගේ ගණකමට තියෙන්න ඕන.

ඉඳි ආප්ප වගේ පදමට කැට නැති වෙන්න පොල් කිරි වලින් හොඳට අනපු පිටි වලට, නානු දාලා දිය කරන්න ඕන.

අත උස්සගෙන ඉන්නකොට නූල් නොකැඩී ටික වේලාවක් වැක්කෙරෙන්න ඕන.

පළවෙනි සැරේ බැද්දාම මෙහෙමයි. හොඳම සුදු පාටට එන්නේ නෑ.

දෙවෙනි සැරෙ බැදලා පැණි දැම්මා.

ඔන්න හරි. දැන් ඉතිං කන්න තමා තියෙන්නෙ.





මේ වගේ පැහැදිලිව අපි හැමෝටම ආස්මි  හදන විදිහ කියලා දුන්න Indunee Welivita මහත්මියට අපි හැමෝම ස්තූති වන්ත් විය යුතුයි. කිසිම ලෝබ කමක් නැතුව ඇය කියලා දුන්නනේ.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment