ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස නෙළුම් අල බැදුමක් හදාගන්න විදිහ. මීට කලින් ඔයාලට නෙළුම් අල බයිට්, නෙළුම් අල ව්‍යාංජන හදාගන්න විදිහ කියලා දුන්නනෙ, අද බැදුමක්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා මේ බැදුම.
- තෙල් මේස හැදි 2 - 3ක් පමණ
- අබ ඇට ස්වල්පයක්
- හීනියට ලියා ගත්තු රට ලූණු ගෙඩි 1
- කරපිංචා
- කෑලි වලට කපා ගත් වියළි මිරිස් කරල් 2 - 3ක්
- නෙළුම් අල 200g පමණ
- විනාකිරි මේස හැදි 1ක් පමණ( රස අනුව අඩු වැඩි කර ගන්න)
- බැදපු තුනපහ තේ හැදි ¾ ක් පමණ
- ලුණු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම නෙළුම් අල ටික හොදට හෝද ගෙන හීනියට රවුමට කපා ගන්න ඕනේ.
- දැන් පෑන් එකක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා ඒකට තෙල් රත් වෙන්න දා ගන්න.
- තෙල් රත් වුණාම එකට අබ ඇට ටික දාන්න.
- අබ පිපිරුණාට පස්සේ කරපිංචා ටිකයි, කෑලි වලට කඩා ගත්ත වියළි මිරිස් කරල් ටිකයි, ලියා ගත්තු රට ලූණු ටිකයි එකතු කරලා ලූණු ටික මෘදු වෙනකන් තෙම්පරාදු කර ගන්න ඕනේ.
- දැන් ලිපේ ගින්දර අඩු කරලා කපා ගත්ත නෙළුම් අල ටික එකතු කර ගෙන විනාඩි 5ක් විතර පියනකින් වහලා නෙළුම් අල ටිකක් මෘදු වෙනකන් තැම්බෙන්න දෙන්න.
- ඊට පස්සේ විනාකිරියි, බැදපු තුනපහයි, රස අනුව ලුණුයි දා ගෙන හොදට කලවම් කරන්න.
- අන්තිමට තවත් විනාඩියක් වගේ උයා ගෙන ලිපෙන් බා ගන්න.
වැදගත්:
- විනාකිරි වෙනුවට තක්කලි වුණත් එකතු කරන්න පුළුවන්.
- නෙළුම් අල යන්තමින් හොදට හැපෙන ගානට තැම්බුනාම ඇති, වැඩිය තම්බන්න යන්න එපා.
- කැමති නම් සෝයා සෝස් ටිකක් වුණත් එකතු කර ගන්න පුළුවන් රස අනුව.
- පොඩියට කාපා ගත්තු අමු මිරිස් ටිකකුයි ලූණු කොළ ටිකකුයි උඩින් දා ගෙන සරස ගන්න පුළුවන් කැමති නම්.
මේ තියෙන්නේ නෙළුම් අල.
මේ තියෙන්නෙ ගත්ත දේවල් ටිකක්.
මේ තියෙන්නෙ බැදුම හදාගන්න කොට.
ඉතින් ඔහොම හදාගත්ත අපේ රසම රස නෙළුම් අල බැදුම තමයි මේ තියෙන්නෙ. දැන් ඉතින් කන් බොන වැඩේ තමයි ඉතුරු.
ලිපිය ලියන්න කරුණු ලබාගත්තා amisvegetarian.com වෙබ් අඩවියෙන්.